ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි තරගයට තවත් ඉන්දීය දඟපන්දු යවන්නෙක්

1011

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා වමත් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Axar Patel ඉන්දීය සංචිතයට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

තරගය මාර්තු 12 වැනිදා Bengaluru හිදී ආරම්භ වීමට නියමිත අතර මේ තීරණයත් සමඟ දඟපන්දු යවන ක්‍රීඩක Kuldeep Yadavව සංචිතයෙන් නිදහස් කිරීමට ද ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

Axar පසුගිය නොවැම්බරයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළා. එහි දී සිදු වූ ආබාධයක් නිසා ඔහු ටික කලක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටින්නට සිදු වුනා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියටත් ඔහුව නම් කර තිබුනත්, ආබාධය පූර්ණ වශයෙන් සුව වී නොතිබීම නිසා සහ COVID-19 ආසාදනය වීම නිසා ඔහුට එම තරගාවලිය ක්‍රීඩා කරන්නට ලැබුණේ නැහැ.

Bengaluru හිදී දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ දිවා-රාත්‍රි තරගයක් ලෙසයි. Axar කණ්ඩායමට පැමිණියහොත් එම තරගය ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

Axar තරග 5ක් තුළ කඩුලු 36ක් දවා ගනිමින් ඔහුගේ ටෙස්ට් දිවියට සුපිරි ආරම්භයක් ලබා ගත්තා. ඉන්දියාව අවසන් වරට ක්‍රීඩා කළ දිවා-රාත්‍රි ටෙස්ට් තරගයේ දී Axar එංගලන්තයට එරෙහිව ලකුණු 70කට කඩුලු 11ක් දවා ගත්තා.

නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී Axar සිය පස්වැනි කඩුලු පහ බැගින් දවා ගත් අවස්ථාව වාර්තා කළා. ඒ සමඟම ඔහු තරග හතරකින් පසුව වැඩිම කඩුලු පහේ  අවස්ථා ප්‍රමාණයක් රැස් කළ ඉන්දීය ක්‍රීඩකයින් ලැයිස්තුවට ද එකතු වුනා. ඔහුට පෙර තරග හතරක දී කඩුලු 5 බැගින් වාර්තා කළ අවස්ථා තුන බැගින් වාර්තා කරන්නට L Sivaramakrishnan හා Narendra Hirwani සමත්ව තිබුණා.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<