තුරඟ තරග තහනම් උත්තේජක විභාගය දිග්ගැස්සෙයි

118

පසුගියදා නුවරඑළියේදී පැවැති ‘ගවනර්ස් කප්’ තුරඟ තරගවල සිදුවූ සිදුවීමට අදාළව ලද පැමිණිල්ලකට අනුව ඊයේ නුවරඑළිය පොලිසිය සිදුකළ විභාගයෙන් පසු දෙපාර්ශවයේම කරුණු නීතිපතිවරයා වෙත යොමු කිරීමට පොලිසිය තීරණය කළේය.

එහිදී නුවරඑළිය පොලිසිය හමුවේ කරුණු දැක්වූ “ටර්ෆ් ක්ලබ්” ශ්‍රී ලංකා තුරඟ තරග සමාජයේ නිලධාරීන් පවසා ඇත්තේ තම සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ සංගමයක් නොවන බවත් ක්‍රීඩා පනතට අදාළ කරුණු තුරඟ තරගවලදී බලනොපාන බවත්ය. තවද පනතට අනුව එලෙස සතුන් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජන ආයතනයට අයිතියක් නොමැති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

අදාළ තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා තහනම් උත්තේජන නිවාරණ ආයතනයට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පරීක්ෂා කිරීමට ගිය තහනම් උත්තේජන අයාතනයේ වෛද්‍යවරුන්ට “ටර්ෆ් ක්ලබ්” නිලධාරීන් බාධා කිරීම පිළිබඳව වෛද්‍ය සීවලී ජයවික්‍රම ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම අප්‍රේල් මස 15 වැනිදා නුවරඑළිය පොලිසියේ සිදුකළ පැමිණිල්ලක් අනුව ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයේදී සිදුකළ විමර්ශනය අතරතුර ‘ටර්ෆ් ක්ලබ්’ නියෝජිතයන් මෙසේ කරුණු දක්වා ඇත.

ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව 2013 අංක 33 දරන පනතේ තුන්වන වගන්තිය ප්‍රකාරව ක්‍රීඩාවට සහභාගි වන්නන් තහනම් උත්තේජන ලබා ගැනීම සම්බන්ධව ඕනෑම තැනක පරීක්ෂා කිරීමේ බලතල ශ්‍රී ලංකා තහනම් උත්තේජන නිවාරණ ආයතනයට ඇති බව පැමිණිලි පාර්ශ්වය මෙහිදී පෙන්වා දී ඇත.