ශ්‍රී ලංකා ගෝල රකින්නා කැපී පෙනෙද්දී අවසන් තරගයේ ජය යේමනයට

AFC 23න් පහළ පාපන්දු ශූරතාවය - සුදුසුකම් ලබා ගැනීමේ වටය

220

යේමනය සහ ශ්‍රී ලංකාව අතර Suheim bin Hamad ක්‍රීඩාංගණයේ දී අද (31) පැවති තරගයෙන් ගෝල 03-00ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගන්නට යේමන් ක්‍රීඩකයින් සමත් වුනා.

ඒත් සමඟින් කටාර් හි දෝහා අගනුවර දී පැවති AFC 23න් පහළ පාපන්දු ශූරතාවයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරග 3ම පරාජය වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8:30ට පමණ ආරම්භ වූ අද තරගය සඳහා ශ්‍රී ලංකාව පිටියට පිවිසියේ අවසන් වරට කටාර් සමඟ තරග කළ සංචිතය සමඟිනුයි. යේමන කණ්ඩායමේ නායකත්වය දැරුවේ Nasser Ahmed Elgahwashi විසිනුයි.

තරගයේ ආරම්භයේ පටන් දෙපිලේම ක්‍රීඩකයින් ඉතාමත් උද්වේගකර ලෙස තරග වැදුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද කිසිදු ගෝලයක් වාර්තා කරන්නට ප්‍රතිවාදීන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. පෙර තරගවලට සාපේක්ෂව අද තරගයේ ද නුවන් ගිම්හානගේ ගෝල රැකීම හොඳ මට්ටමක තිබෙනු දක්නට ලැබුණා.

කෙසේ නමුත් 31 වැනි මිනිත්තුවේ දී අනිසි බාධා කිරීමක් නිසාවෙන් බතුර්දීන් තස්ලීම් වෙත කහ කාඩ්පතක් විනිසුරු විසින් ලබා දුන් අතර ඉන් අනතුරුව යේමන් ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථාවක් හිමි වුනා.

Omar Abdullah Aldahi විසින් ගෝලයේ වම් පසට එල්ල කළ පන්දුව ශ්‍රී ලංකා ක්‍රීඩක Aman Faizerගේ ඇගේ වැදී ගෝලය දකුණු පසින් දැල තුලට යොමු වුනේ ලකුණු පුවරුව ද සක්‍රීය කරමිනුයි.

එම ගෝලයෙන් පසුව පළමු අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 1 යේමනය

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 15ක් පමණ ගිය විට යේමන් ක්‍රීඩකයින් විසින් සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. Emad Hamood Algodaimah විසින් දඬුවම් රාමුවට තරමක් එපිටින් සිට එල්ල කළ කවාකාර පහරක් ගෝල රකින්නාගේ දෑත්වලින් බේරි ගොස් කෙළින්ම ගෝලය තුලට යොමු වුනේ තරගයේ පීඩනය ශ්‍රී ලංකාව දෙසට යොමු කරමිනුයි.

ඉන් අනතුරුව යේමන් ක්‍රීඩකයින් විසින් සිය තෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ පැතිපහරක් මගිනුයි. Abdulmajeed Sabarah විසින් එල්ල කළ පැතිපහරක් සාර්ථකව හිසින් ගෝලය තුලට තල්ලු කරන්නට නායක Elgahwashi සමත් වුනේ තරගයේ 68 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව තරගයේ අවසානය තෙක් කිසිදු ගෝලයක් වාර්තා වුනේ නැහැ. කෙසේ නමුත් මෙම තරගයේ දී අනෙක් තරගවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට වැඩි කහ කාඩ්පත් ප්‍රමාණයක් නිකුත් කළ අතර තස්ලීම්ට රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වන්නට ද සිදු වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාවේ ගෝල රැකීම් හොඳ මට්ටමක තිබුනත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු පාලනයේ දුර්වලතා දැක ගන්නට ලැබුණා.

කෙසේ නමුත් අද තරගයේ දී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන් ගෝල 3කට පමණක් සීමා කරන්නට හැකි වූ අතර සිරියාව සහ කටාර් රාජ්‍යය සමඟ පැවති තරග දෙකම අවසන් වුනේ ගෝල 5-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 3 යේමනය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

යේමනය: Omar Abdullah Aldahi 31’, Emad Hamood Algodaimah 60’, Nasser Ahmed Elgahwashi 68’

තරගාවලිය පුරාවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<