එකට එක කිරීමේ තරග මාලාවක තීරණාත්මක තරගාවලිය

Sri Lanka Tour of Bangladesh 2024

69
Sri Lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ දී එකට එක කළ බංග්ලාදේශයට එරෙහිව ක්‍රියාත්මක තීරණාත්මක ටෙස්ට් තරගාවලිය හෙට (22) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ආරම්භ වෙන්නේ දෙරට අතර පළමුවෙන් පැවැති තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමින් මෙන් ම තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය එම ප්‍රතිඵලයෙන් යුක්තව ම බංග්ලාදේශය ජයග්‍රහණය කිරීමේ පසුබිමක් ද සහිතවයි.

මෙම තරග ද්විත්වය ම අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකක් ද වෙනවා.
• පළමු තරගය – මාර්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා Sylhet හි දී.
• දෙවැනි තරගය – මාර්තු මස 30 වැනිදා සිට අප්‍රේල් මස 03 වැනිදා දක්වා Chattogram හි දී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 24ක් පවත්වා ඇති අතර එම තරග අතුරින් තරග 18ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද සහ එක් තරගයක ජයග්‍රහණය බංග්ලාදේශය ද සතු වෙනවා. ඉතිරි තරග 5 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2022 වසරේ දීයි. බංග්ලාදේශයේ දී තරග 2කින් යුත් එම තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

සුපුරුදු ලෙසින් මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා වෙත හිමිව තිබෙනවා. ධනංජයගේ ටෙස්ට් තරග 52ක ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනිමේ වාර්තාව සතු වෙන්නේ බංග්ලාදේශයට එරෙහිවයි. ඒ Chattogram හී 2018 වසරේ දී පන්දු 229කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 173යි.

ධනංජය නායකයෙක් ලෙසින් පිටියට පිවිසෙන 2 වැනි තරගය මෙයයි. මීට පෙර මාසයේ දී මෙරට දී පැවැති ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය ඔහුගේ නායකත්වයේ පළමු තරගය වූවා. එම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූව ද ධනංජයට පිතිකරුවෙක් ලෙසින් එම තරගයේ දී සාර්ථක වීමට හැකි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග කාලයකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවීමට මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා. වනිඳු අවසන් වරට ටෙස්ට් තරගයකට මුහුණ දී ඇත්තේ 2021 වසරේ අප්‍රේල් මාසයේ දී බංග්ලාදේශය හා සමඟ පැවැති තරගයකටයි.

ටෙස්ට් තරග 4කට මුහුණ දී ඇති වනිඳු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 196ක් ද සහ කඩුලු 4ක් ද දවා ගෙන ඇති අතර ඔහුගේ මෙම නම් කිරීම සිදු කරන්නේ ඔහු ටෙස්ට් තරග දිවියට සමු දී තිබූ පසුබිමකයි.

බංග්ලාදේශයට එරෙහි ව පැවැතෙන ටෙස්ට් තරගාවලිය කෝඩුකාරයන් දෙදෙනෙක් ද එක් කිරීමට තේරීම් කමිටුව නම් කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද කෝඩුකාරයන් අතුරින් ප්‍රමුඛයෙන් සටහන් වෙන්නේ 30 හැවිරිදි වියේ පසුවෙන ලහිරු උදාර ගේ නමයි. පළමු පෙළ තරග 91කට සහභාගී වී ඇති ලහිරු ශතක 11ක් සහ අර්ධ ශතක 34ක් සමඟින් ලකුණු 6116ක් ලබා ඇති කඩුලු රකින් පිතිකරුවෙක් ලෙසයි ඔහු වර්ගීකරණය වී ඇත්තේ.

එමෙන් ම 26 වැනි වියේ පසුවෙන තවත් කෝඩුකාරයෙක් වන නිශාන් පීරිස් ද මෙම කණ්ඩායම හා එක් කර තිබෙනවා. දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් මේ දක්වා පළමු පෙළ තරග 37කට ක්‍රීඩා කරමින් කඩුලු 153ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත් මෙම සංචිතයට අයි.සි.සී. නවතම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී එක්දින පිතිකරුවන් අතුරින් පළමු 10 දෙනා අතරට පිවිසීමට මේ සතියේ දී සමත් වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් කර නැහැ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර (කඩුලු රකින්නා), වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ චාමික ගුණසේකර.

බංග්ලාදේශ කණ්ඩායමේ සූදානම

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමට නම් කර සිටි Mushfiqur Rahim වෙනුවට Towhid Hridoy නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රියා කර තිබෙනවා. Towhid Hridoy බංග්ලාදේශය වෙනුවෙන් තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයෙක්.

23 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණයට ලත් Towhid Hridoy එරට වෙනුවෙන් මේ දක්වා එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලට එක් වී පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වා තිබෙන ක්‍රීඩකයෙක්.

එමෙන් ම 21 වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Mohammad Musfik Hasan සහ Nahid Rana ද කෝඩුකාරයන් ලෙසින් මෙම සංචිතයට එක් කිරීමට බංග්ලාදේශ පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා. ඔහුන් මේ දක්වා පළමු පෙළ තරග 15කට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වන අතර Hasan එම තරගවල දී කඩුලු 55ක් ද සහ Rana කඩුලු 63ක් ලබා සිටිනවා. ඔවුන්ට අමතර ව 25 වියේ පසුවෙන Taijul Islam කෝඩුකාරයෙක් ලෙසින් මෙම කණ්ඩායම හා එක් වෙනවා.

කණ්ඩායමේ නායක Najmul Hossain Shanto මෙම තරගය හා එක් වෙන්නේ තම නායකත්වයෙන් තරග වදින තෙවැනි තරගය සඳහා එක් වෙමිනුයි. ඔහු මීට පෙර නවසීලන්තය හා සමඟ තරග 2කට නායකත්වය දී තිබෙනවා. එම තරග ද්විත්වයේ පළමු තරගයෙන් ලකුණු 150ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වෙන අතර දෙවැනි තරගයේදී ඔවුන් කඩුලු 4කින් සංචාරක ක්‍රීඩකයන්ට පරාජය වෙනවා. ඒ අනුව Najmul Hossain Shanto ගේ පළමු ටෙස්ට් තරගාවලිය නිමා වෙන්නේ 1-1ක් ලෙස සම වීමෙනුයි.

ටෙස්ට් තරග පිටියේ තරග 25ක දී ශතක 5ක් සමඟින් ලකුණු 1449ක් ලබා ගනිමිනුයි.
මේ අතර කණ්ඩායමේ දක්ෂතා අතුරින් මේ වන විට ඉදිරියෙන් ම සිටින පිතිකරු වී සිටින්නේ Litton Kumer Das. ඔහු මේ වෙද්දී ටෙස්ට් තරග 39කට එක් වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 16ක් සමඟින් ලකුණු 2394ක් ලබා සිටිනවා. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2022 වසරේ දී Mirpur හි දී පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 141යි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mehidy Hasan Miraz බංග්ලාදේශ කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් හිමි ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 41කට එක් වෙමින් දකුණත් පිට දඟ පන්දු යවමින් කඩුලු 159ක් ලබා සිටින අතර පිතිකරුවෙක් ලෙසින් ශතකයක් සහ අර්ධ ශතක 5ක් ද සමඟින් ලකුණු 1338ක් ලබා සිටිනවා.

එමෙන් ම මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන Mominul Haque ද බංග්ලාදේශ කණ්ඩායමේ හිසරදකාරී වමත් පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 59කට ක්‍රීඩා කරමින් ශතක 12ක් සහ අර්ධ ශතක 16ක් සමඟින් ලකුණු 3883ක් ලබා සිටිනවා.

ඔහුගේ එම ලකුණු අතර ලකුණු 895ක් ම රැස් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ වැඩිම ලකුණු ලැබූ රට ලෙස ද සැලකෙනවා. ඔහු එම ලකුණු ලබා ගැනීමට තරග 11ක් වැය කරන ලද අතර ඊට ශතක 4ක් ද එක් කරනවා. එම ශතක 4 ද ඔහුගේ තරග දිවියේ කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද ඉහළ ම ශතක ප්‍රමාණය ද වෙනවා.

පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ සංචිතය:Najmul Hossain Shanto (නායක), Zakir Hasan (කඩුලු රකින්නා), Mahmudul Hasan Joy, Shadman Islam, Litton Kumer Das, Mominul Haque Showrab, Towhid Hridoy, Shahadat Hossain Dipu, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Syed Khaled Ahmed, Mushfik Hasan, Nahid Rana.

මෙම තරගාවලියේ දී ක්‍රීඩකයන්ට ලඟා විය හැකි සුවිශේෂී කඩඉම්
කුසල් මෙන්ඩිස්: ටෙස්ට් ලකුණු 4000ක් ලබා ගැනීමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 2ක් පමණයි.

Mominul Haque: ටෙස්ට් ලකුණු 4000ක් ලබා ගැනීමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 117ක් පමණයි.
කසුන් රාජිත: ටෙස්ට් කඩුලු 50ක් ලබා ගැනීමට තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 3ක් පමණයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<