“ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත්වනවා” – ළහිරු තිරිමාන්න

103

මෙම ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තාන් තරගයේදී හැර අනෙක් තරගවලදී තමන් පිතිකරුවකු ලෙස සාර්ථක වූ බවත් ඒ අනුව කණ්ඩායම වෙනුවෙන් මේ වන විට තමන් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත්වන බවත් ළහිරු තිරිමාන්න ප්‍රකාශ කළේය.

පසුගිය ඉරිදා නවසීලන්තයේ වෙලින්ටන්හි වෙස්ට් පැක් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 139ක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස්කළ ළාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වූ ළහිරු තිරිමාන්න එම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී එසේ ප්‍රකාශ කළ අතර කුමාර් සංගක්කාර වැනි සුපිරි පිතිකරුවකු සමඟ කඩුල්ලේ රැඳී සිටිමින් ක්‍රීඩා කිරීමට ලැබීම නිසා අන්ත දෙක මාරු කර ගනිමින් ලකුණු රැස් කිරීමට තමන්ටද පහසුවක් වූ බව පැවැසීය. වෙලින්ටන් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ලකුණු 300කට වැඩියෙන් ලබා ගැනීම යනු හොඳ ලකුණු සංඛ්‍යාවක් බව පැවැසූ තිරිමාන්න තරමක් මන්දගාමීව හැසිරුණු මෙම තණතීරුවේදී එංගලන්ත පිලට එක් නිත්‍ය දඟපන්දු යවන්නෙක් පමණක් සිටීමද තම පිලට යම් වාසියක් වූ බව පැවැසීය.

ඔබගේ මැනබැලීමට අනුව වෙලින්ටන්හිදී ලැබූ මෙම ශතකය කීවැනි තැනට වැටෙන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් තිරිමාන්න කියා සිටියේ මෙය තම එක් දින දිවියේ හොඳම දෙවැනි හෝ තුන්වැනි ඉනිම විය හැකි වන බවත් පසු ගිය ආසියානු කුසලාන තරගාවලියේදී ලබා ගත් ශතකය තමන්ගේ හොඳම ඉනිම ලෙස තවමත් දැනෙන බවත්ය. හිතට අවංකව සිතුවහොත් මෙම තරගයේදී ද ආරම්භයේ තමන්ට යම් අවස්ථාවලදී වාසනාව මුසුව ක්‍රීඩා කිරීමට ලැබීමද ඊට හේතුවක් බව පැවැසූ තිරිමාන්න එංගලන්ත පිතිකරණයේදී ද ඔවුන් යම් අවස්ථාවලදී වාසනාවන්ත වූ බවත් කීය. තවද කුමාර් සංගක්කාර පිළිබඳව ඇසූ පැනයකටද පිළිතුරු දෙමින් කියා සිටියේ වර්තමානයේ සිටින ලොව අංක එක පිතිකරුවා ඔහු බවය.

එංගලන්තයට එරෙහිව තරගයේදී අවසන් අදියර දඟපන්දු යවන්නන්ට තරමක් උචිත බවක් පෙන්නුම් කළ බැවින් රංගන හා ඩිල්ෂාන් එම අවස්ථාවේ වැඩිපුර යොදාගත් බව කී තිරිමාන්න “කුමාර්, ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන කියන්නෙ අපේ කණ්ඩායමේ සිටින කදිම දක්‍ෂයන් තිදෙනෙක්. ඔවුන්ට ඕනෑම පීඩනයක් දරාගෙන ක්‍රීඩා කළ හැකියි” යනුවෙන්ද පැවැසීය.

තවද එංගලන්ත පන්දු යවන්නන්ට වඩා ඇෆ්ගනිස්තානයේ පන්දු යවන්නන් වඩාත් තර්ජනයක් වූවා නොවේදැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ අවංකව බැලුවහොත් එදින ඇෆ්ගනිස්තානයේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බවද තමන් පිළිගන්නා බවයි. කෙසේ වෙතත් මෙවැනි තරගාවලියක ඕනෑම ප්‍රතිඵලයක් සිදුවිය හැකි බව පැවැසූ තිරිමාන්න ඉදිරිය ගැන සිතුවහොත් පිතිකරණය සාර්ථක වී ඇති මොහොතක අප මීට වඩා පන්දු යෑවීම හා පන්දු රැකීම දියුණුකර ගැනීමට අවධානය යොමුකළ යුතු බවය.