පැතුම් එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි මුල් 10 අතරට

ICC Men's Player Rankings

60
ICC Men's Player Rankings

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලෝක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි 08 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඊයේ (19) දිනයෙන් යාවත්කාලීන වූ නවතම ICC ශ්‍රේණිගත කිරීම් හිදි පැතුම් විසින් මෙම ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇති අතර, බංග්ලාදේශය සමඟ පැවැත්වුණු එක්දින තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සමඟින් ඔහුට මෙම කඩ ඉමට ළඟා වීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම පැතුම් එක්දින ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙන අතරේ චරිත් අසලංක ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම් හි 14 වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

මේ අතර නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කිරීමේ වගකීම බාර ගත් ජනිත් ලියනගේ ස්ථාන 118ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම් හි 87 වැනි ස්ථානයට පැමිණීමට සමත් වීමත් විශේෂත්වයක්.

එමෙන්ම මහීෂ් තීක්ශණ එක්දින පන්දු යවන්නන් අතරේ එක් ස්ථානයක් පසු බසිමින් 13 වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

කෙසේ වෙතත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතරේ පිළිවලින් දෙවැනි සහ පස් වැනි ස්ථාන ලබා ගත් වනිඳු සහ මහීෂ් තවදුරටත් සිය ස්ථාන රැක ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම වනිඳුගේ විස්සයි විස්ස තුන් ඉරියව් දෙවැනි ස්ථානය ද තවදුරටත් තහවුරුයි.

මේ අතර ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 08 වැනි ස්ථානයේ ද, දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 07 වැනි ස්ථානයේ ද රැඳී සිටීමට සමත් වනවා. එමෙන්ම එළඹෙන 22 දා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී මෙම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යාමේ අවස්ථාව ද ඔවුන්ට උදා වනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<