සිංහයන්ගේ බංගලි සංචාරය

226
Sri Lanka Tour of Bangladesh

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (04) එරට Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ අනෙක් තරග දෙක මේ මස 06 වැනි සහ 09 වැනිදා පැවැත්වීමට නියමිත අතර සියලු තරග Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට යෝජිතයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වසරේ දී සහභාගී වන ප්‍රථම සංචාරක අත්දැකීමයි.

බංග්ලාදේශය මෙම තරගාවලියට සූදානම් වෙන්නේ එරට පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සහායට තවත් පුහුණුකරුවන් දෙදෙනෙක් ද එක් කර ගනිමිනුයි. ඒ අනුව පිතිකරු පුහුණුකරු ලෙසින් බර්මියුඩා ජාතික David Hemp ද පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙසින් නවසීලන්තයේ Andre Adams පත් කර තිබෙනවා.

2007 වසරේ සිට ඇරඹි බංග්ලාදේශ – ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 13ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා 9ක දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 4ක දී පමණයි.

කෙසේ වෙතත් දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට විස්සයි විස්සයි ජාත්‍යන්තර තරගාවලියකට එක් වෙන්නේ 2018 වසරේ දීයි. බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැති තරග 2කින් යුත් එම තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

 දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී එකිනෙකා හමුවෙන්නේ 2022 වසරේ දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීයි. එම තරගයේ දී තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 4ක් අතැතිව තිබිය දී කඩුලු 2කින් ජයග්‍රහණය කරනවා.

මෙම තරගය එතැන් සිටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කණ්ඩායමේ ප්‍රධානත ම වෙනස් කම වන්නේ ඇෆ්ගනිස්තාන තරග සංචාරයෙන් අනතුරුව තරග තහනමකට ලක් වූ නිත්‍ය විස්සයි විස්ස නායක වනිඳු හසරංග වෙනුවෙන් මෙම තරගාවලියේ පළමු තරග ද්විත්වයේ නායකත්වයට කණ්ඩායමේ උප නායක චරිත් අසලංක නායකත්වයට පත් කිරීමයි.

ඒ අනුව මෙය චරිත් අසංලක නායකයෙක් ලෙසින් වැඩ අරඹන පළමු විස්සයි විස්ස තරගය බවට පත් වෙනවා. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 41කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටිනවා.

තරගාවලියේ තෙවැනි තරගයේ දී නැවත සුපුරුදු ලෙසින් වනිඳු හසරංග තරග තහනම හමාර කරමින් කණ්ඩායම හා එක් වීමට නියමිතයි.

කණ්ඩායමේ අනෙක් ප්‍රධානත ම වෙනස්කම වන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි පැවැති අවසන් විස්සයි විස්ස තරගයේ දී ආබාධයට ලක් වූ පැතුම් නිස්සංකට මෙම තරගාවලිය අහිමි වී ඇති අතර ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර තිබීමයි.

අවිශ්ක අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගයකට එක් ව ඇත්තේ පසුගිය වසරේ ජනවාරියේ දීයි.

එමෙන් ම අසනීප තත්ත්වයක් හේතුවෙන් අවසන් අවස්ථාවේ දී කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබී කුසල් පෙරේරා වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලට ද මෙම කණ්ඩායම හා එක් වීමට වරම් ලැබී තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගයකට එක් ව ඇත්තේ 2021 වසරේ ජුනි මාසයේ දී එංගලන්තය හා සමඟ තරගයකටයි.

ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර ද මෙම තරගාවලිය හා එක් නොවන අතර පා දඟ පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරන ජෙෆ්රි වැන්ඩර්සේ නවක ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් කර තිබෙනවා.

ජෙෆ්රි වැන්ඩර්සේ ද අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2022 වසරේ දී ඉන්දියාවට එරෙහිව තරගයකදීයි.

ඊට අමතර ව ජයග්‍රහණය කරන ලද ඇෆ්ගනිස්තාන තරගාවලියට එක් වූ සුපුරුදු කණ්ඩායම් සංචිතය ම මෙම තරග සංචාරය සඳහා එක් වෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය: වනිඳු හසරංග (නායක- අවසන් තරගය), චරිත් අසලංක (උප නායක- නායක පළමු තරග ද්විත්වය), කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, ඩිල්ශාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, නිරෝෂන් දික්වැල්ල.

බංග්ලාදේශය

මෙම සංචාරයේ දී බංග්ලාදේශය කණ්ඩායමේ හිටපු උප නායක Mehidy Hasan Miraz ට තම ස්ථානය අහිමි වී තිබෙනවා. ඒ සමඟ ම Afif Hossain, Shamim Hossain, Tanvir Islam, Hasan Mahmud, Rony Talukdar කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට Anamul Haque, Mohammad Naim, Mohammad Mahmudullah, Taijul Islam, Taskin Ahmed, Aliss Al Islam කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊට අමතර ව කණ්ඩායමට එක් කර සිටි දඟ පන්දු යවන ක්‍රීඩක Aliss Al Islam ද පසුගියදා සිදුකර ගත් ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කඩුලු රකින ක්‍රීඩක Jaker Ali Anik කණ්ඩායමට එක් කර තිබෙනවා.

ඔහු මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් BPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක්.

එම වෙනස්කම් සහිතව එක්වෙන බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto, නායකයෙක් ලෙසින් මෙහෙයවන 2 වැනි තරගාවලිය මෙයයි. මීට පෙර ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ දී නවසීලන්තය සමඟ වූ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ දී නායකත්වයේ කටයුතු කළ අතර එම තරගාවලිය 1-1ක් ලෙසින් සම කර ගැනීමට ඔවුන් සමත් වෙනවා.

Najmul Hossain Shanto ගේ විස්සයි විස්ස තරග විස්කම් ද එතරම් ම උලුප්පා පෙන්වීමට තරම් දෙයක් නැති තරම්. ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලත් ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 28ක් පමණක් වන අතර, එහි දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 602ක් ලබා සිටිනවා.

වසර 2කට පසුව බංග්ලාදේශ කණ්ඩායමට එක් වෙන Mohammad Mahmudulla සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහුගේ මෙතෙක් තරග දිවියේ අවසන් තරගය වී ඇත්තේ ද ශ්‍රී ලංකාව හා සමඟ තරගයකුයි. 2022 වසරේ දී පැවැති එම තරගයෙන් අනතුරුවයි ඔහු මෙම සංචිතයට හා කැඳවා ඇත්තේ.

ඔහු එසේ විවේක ගැන්වීමට තරම් ඔහුගේ දක්ෂතා දුර්වල තත්ත්වයේ නැති බවකුයි බැලූ බැල්මට ම පෙනෙන්නේ. එය සුසැදී තිබෙන්නේ තරග 121ක දී අර්ධ ශතක 6ක් සමඟ ලකුණු 2122ක් ලෙසයි. එය බංග්ලාදේශ ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් 2 වැනි අසුනට හිමි දක්ෂතාවක්.

Litton Das ද මෙම කණ්ඩායමේ සැඩපරුෂ ප්‍රහාරකයෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ වන විට විස්සයි විස්ස තරග 74කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1711ක් ලබා සිටිනවා. එය බංග්ලාදේශ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර තෙවැනි තැනට පත් දක්ෂතාවයි.

බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් Soumya Sarkarට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු තරග 75කට ක්‍රීඩා කරමින් ලකුණු 1238ක් ලබා ගනිමින් මෙම කණ්ඩායම හා එක් ව තිබෙනවා.

ඉදිරියෙන් කියැවෙන පන්දු යවන්නන් අතර වමතින් මඳ වේග පන්දු යවන Mustafizur Rahman තම් ස්ථානය තහවුරු කර ගෙන සිටින්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 88ක දී කඩුලු 105ක් ලබා ගනිමිනුයි. එය බංග්ලාදේශ පන්දු යවන්නන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

ඊට අමතර ව තරග 54ක දී කඩුලු 52ක් ලබා සිටින Taskin Ahmed ද, තරග 34ක දී කඩුලු 40ක් ලබා සිටින Shoriful Islam ද, තරග 41ක දී කඩුලු 34ක් ලබා සිටින Mahedi Hasan ද මෙම ලැයිස්තුවේ ස්ථාවර පන්දු යවන්නන් වී සිටිනවා.

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය: Najmul Hossain Shanto (නායක), Litton Das (කඩුලු රකින්නා), Anamul Haque (කඩුලු රකින්නා), Mohammad Naim, Tawhid Hridoy, Soumya Sarkar, Mahedi Hasan, Mohammad Mahmudullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Jaker Ali Anik (කඩුලු රකින්නා)

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මෙම ක්‍රීඩාංගණයේ දී මේ දක්වා විස්සිය විස්ස තරග 10ක් පවත්වා ඇති අතර ඒ අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ද එක් තරගයකට එක් ව තිබෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි. 2018 වසරේ දී පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 75කින් ජයග්‍රහණය කිරීමට සත් වෙනවා.

බංග්ලාදේශය ද මෙම ක්‍රීඩාංගණයේ දී මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ තරග 4කට පමණයි. එම තරග අතුරින් ඇෆ්ගනිස්තානය සමඟ තරග ද්විත්වයක් ජයග්‍රහණය කරන ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජය වෙනවා.

අනෙක් තරගය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා තරගයයි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබා ගන්නා ලද අතර එය එම ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙම ක්‍රීඩාංගණයේ නැවත සජීවීකරණය වීමට සූදානම් වෙන්නේ වසර 6කට පසුවයි.

මෙම තරගාවලියේ දී ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්

චරිත් අසලංක: විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍ය ලකුණු 85ක් පමණයි.

ඇන්ජලෝ මැතිව්ස්: විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ කඩුලු 50 වාර්තා කිරීමට තවත් අවශ්‍ය කඩුලු 7ක් පමණයි.

මහීෂ් තීක්ෂණ: විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ කඩුලු 50 වාර්තා කිරීමට තවත් අවශ්‍ය කඩුලු 8ක් පමණයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<