චෝදනාවලට දක්ෂතාවෙන් පිළිතුරු දුන් “කාලිංග”

410

“අවුරුදු දෙකකට විතර පස්සෙ දුවන්න ගත්තේ. පෙර වාර්තා කළ කාලයටම දිවුවා. සතුටුයි. ලොකු බලාපොරොත්තුවක් තිබුණා තරගය ජයග්‍රහණය කරන්න ඕන කියලා. තරග තහනම නිසාත්, COVID නිසාත් පුහුණුවීම් ගොඩක් අතපසුවෙලා තිබුණෙ. නමුත් තරගයට ආවහම සුපුරුදු රිද්මයෙන් දුවන්න පුළුවන් වුනා.” 

පසුගිය දා සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වූ 98 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 200 සහ මීටර් 400 පිරිමි ඉසව්වල රන් පදක්කම්ලාභී 28 හැවිරිදි කාලිංග කුමාරගේ ThePapare.com සමඟ එක්වෙමින් පැවසුවා.

කාලිංග කුමාරගේ යනු මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩිම දක්ෂයන් ප්‍රමාණයක් බිහි කළ මෙන්ම පදක්කම් දිනා ගත හැකි යැයි වඩාත් බලාපොරොත්තු සහගත ඉසව්වක් වන මීටර් 400 පිරිමි ඉසව්වේ වර්තමාන ජයග්‍රාහකයා. එමෙන්ම මෙවර මීටර් 200 ඉසව්වෙන් ද ජය ගැනීමට ඔහු සමත් වෙනවා. බොහෝ කටුක පීඩාවන්ගෙන් ද යුත් කාලිංගගේ මලල ක්‍රීඩා ජීවිතයේ තතු විමසන්නට ThePapare.com ඔහු සමඟ කතා බහකට එක් වුනා.  

“මම ගියේ මීරිගම පල්ලෙවෙල මහා විද්‍යාලයට. ඉස්කෝලෙ 6 පංතියේ දී විතර තමයි මුලින්ම මලල ක්‍රීඩා කරන්න ඕන කියන අදහස ආවේ. ඒ දවස්වල අපේ ඉස්කෝලෙ හිටියා රම්‍යශීලී කියලා ගුරු මහත්මියක්. ඇය යටතේ තමයි අපි පුහුණුවීම් කරන්නේ. මොන ඉසව්ව කරනවා ද කියන අදහස ඒ දවස්වල තිබුණෙ නැහැ. ගුරුතුමිය කියන එක කළා. ඒත් මට මතක හැටියට මම වැඩි හරියක්ම සහභාගී වුනේ මීටර් 400, මීටර් 800 සහ මීටර් 1500 කියන ඉසව්වලට. ඒ දවස්වල පළාත් මට්ටමේ දක්ෂතා දැක්වුවා” කාලිංග තම අතීතය සිහිපත් කළා. 

මෙහෙම පුහුණුවීම්වලට යමින් තරගවලට සහභාගී වූ කාලිංග 2008 වසරේ දී විතර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 දෙවැනි ස්ථානය ලබා ගන්නවා. ඒක තමයි කාලිංග දිනා ගත් පළමු ජාතික තරග ජයග්‍රහණය.

“ඒ ජයග්‍රහණයෙන් පස්සේ පොඩි ගැම්මක් ආවා. කොහොමටත් මම මීටර් 400 ඉසව්වට ගොඩක් කැමැත්තක් දැක්වුවා. මගේ වීරයා වෙලා හිටියේ රොහාන් ප්‍රදීප්. හැබැයි මම ඔහු තරග කරනවා සජීවීව දැකල තිබුණෙ නැහැ. රූපවාහිනියෙන් තමයි දැකල තිබුණෙ. කවදහරි දවසක රොහාන් ප්‍රදීප් එක්ක දුවන්න ඕන කියන ආසාව තිබුණා. ඒ වගේම සුගත් තිලකරත්න. ප්‍රසන්න අමරසිංහ වගේ අය දුවනවා රූපවාහිනියෙන් බලල තියෙනවා. මේ අයගේ දක්ෂතා දැක්කට පස්සේ කවදහරි දවසක මීටර් 400 ඉසව්වේ ලංකාවේ පළවෙනියා වෙනවා කියලා හිතුවා.”

මේ බලාපොරොත්තුත් කරපින්නා ගත් කාලිංග පාසල් කාලයෙන් පස්සේ ඩර්වින් පෙරේරා මහතා යටතේ පුහුණුවට පැමිණෙනවා. දැන් කාලිංග තමන්ගේ සිහිනයේ කිමිදෙමින් තමයි පුහුණුවීම් කරන්නේ. මීරිගම සිට දිනපතා කොළඹ එනවා පුහුණුවීම්වලට. නමුත් කාලිංගට තමන්ගේ අපේක්ෂාවන් ඩර්වින් පෙරේරා මහතා යටතේ ඉෂ්ට කර ගන්න ලැබෙන්නේ නැහැ. 

“මොන හේතුවක්ද දන්නෑ ඩර්වින් සර් ළඟදි මගේ තරග නිමා කරන කාලය අඩු වුනා. කොපමණ මහන්සි වුනත් මගේ කාලයට එන්න බැරි වුනා. ඒ නිසා මම ඩර්වින් සර්ගෙන් අයින්වෙලා මීරිගම පුහුණුවිම් කළ චන්දන අමරසිංහ මහතා යටතේ පුහුණුවිම්වලට සහභාගී වෙනවා.”

එහෙම ආව කාලිංග ටික දවසකට පස්සේ 2013 දී පමණ මෙරට දී සංවිධානය වූ ආසියානු ගෝන් ෆ්‍රී තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගන්නවා. ඒක තමයි කාලිංගගේ පාසල් කාලයෙන් පසු පළමු පදක්කම. එම වසරේ දී ම තායිලන්තයේ පැවති විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදි පදක්කම දිනා ගන්නවා. ඉන් අනතුරුව 2014 වසරේ දී ආසියානු මලල ක්‍රීඩා තරගාවලියටත් එම අවුරුද්දේම පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියටත් සහභාගී වෙනවා. ඒත් ඒ තරග දෙකේ දී පදක්කම් දිනා ගන්න කාලිංගට බැරි වෙනවා.  

“මේ කාලයේ දී මම නැවතත් මගේ පුහුණුකරු මාරු කරනවා. එවර මම යන්නේ සුනිල් ගුණවර්ධන සර් ළඟට. සුනිල් සර් ළඟ ඉන්දැද්දි මම 2016 SAG තරගාවලියේ සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදි පදක්කම් දිනා ගන්නවා. මෙහෙම ඉන්දැද්දි මම නැවතත් පුහුණුකරු මාරු කරනවා. ඒකට නිශ්චිත හේතුවක් තිබුණෙ නැහැ. නමුත් මට හිතුණා වෙනත් කෙනෙක් ළඟට ගියා නම් හොඳයි කියලා.”

එවර කාලිංගගේ පුහුණුකරු වෙන්නේ විමුක්ති සොයිසා මහතා. ඔහුගෙන් පුහුණුව ලැබූ කාලිංග 2018 ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 200 සහ මීටර් 400 ජාතික ශූරයා වෙනවා. එතැන් සිට කාලිංගගේ පුහුණුකරු වන්නේ විමුක්ති මහතා. 

තවත් විශේෂාංග ලිපි:

මේ කාලයේ ම තමයි කාලිංගගේ මලල ක්‍රීඩා ජීවිතයට කණකොකා හඬන්නේ. 

“මේ කියන්නේ 2018 අවුරුද්ද ගැනම. මම ඉන්දුනීසියාවේ තරගාවලියක් තිබිල ඒකට සහභාගි වෙනවා. ඊට පස්සේ අපේ රටේ තිබුණ යුද හමුදා තරගාවලියට සහභාගී වෙනවා සුගතදාස ක්‍රීඩාංගණයේ දී. ඒ තරගය නිමා වෙලා මගෙන් ගත් මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක අඩංගුයි කියලා මට තරග තහනමක් පනවනවා. මම ඒ චෝදනාව පිළිනොගත්තත් ඔවුන් මට ඇහුම්කන් දෙන්නෙවත් නැහැ. මම කියන්න පුළුවන් හැම කෙනෙක්ටම කිවුවා. ඒත් තීරණයේ කිසිදු වෙනසක් නැහැ. මම මගේ ගෙදර අයත්, බිරිඳගේ ගෙදර අයත් සමඟ කතා කර ඒ තීරණයට එරෙහිව නඩුවක් දැම්මා.”

කාලිංගට එරෙහි මේ තීරණය ලැබෙන්නේ නවදිල්ලි රසායනාගාරයක් මගින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින්. නමුත් හිටි අඩියේ ම මේ නවදිල්ලි රසායනාගාරය සීල් තැබීමට ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය පියවර ගන්නවා. ඔවුන්ගේ නිර්දේශ වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගනු ලබන නියමිත ප්‍රමිතියෙන් යුතුව එකී රසායනාගාරය පවත්වා ගෙන නොයෑමයි.  

“ඒ අවස්ථාවේත් මට නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මේ පරීක්ෂණය කළ ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය පැවසුවේ නවදිල්ලි රසායනාගාරය සීල් තිබ්බත් පෙර වාර්තා වලංගු වෙන බැවින් මගේ තරග තහනම දිගටම පවතින බවයි. මෙතැන දී මට ගොඩක් උදව් කරන්නේ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය බී. කේ. දයානාත් මහතා. අපි මාස 6කට වැඩි කාලයක් ඒ තීරණයට එරෙහිව නඩු කිව්වා.”

සියල්ල යහපත් බවට හැරෙන විට කාලිංග අපවාදවලට ලක්ව අවසන්. ළඟින් හිටි මිතුරන් පවා දුරස්ව ගිය බවයි කාලිංග පවසන්නේ. 

“ජීවිතේ ලොකු පාඩමක් ඉගෙන ගත්තා. දෙයක් වුනහම කවුරුත් නැහැ කියන එක මගේ දෙනෙත් ඉදිරියේම ඔප්පු වුනා. මගේ පවුලේ අය හිටපු නිසා මාව කාටවත් වට්ටන්න බැරි වුනා. මම ගත්ත විටමින් වර්ග ගැන මම දන්නවා. මම දැනුවත්ව ගත්ත නිසා ඒව තහනම් නැහැ කියල මම දන්නවා. මේ ගැන කොච්චර කිවුවත් පිළිගත්තෙ නැහැ. දැන් වෙච්ච අවමානය වෙලා ඉවරයි. මේ ප්‍රශ්නයේ දී මාත් එක්ක මගේ අම්මා, තාත්තා,  බිරිඳ, බිරිඳගේ අම්මා, තාත්තා නොහිටින්න මම වැරදිකාරයෙක් වෙලා ඉවරයි. ඒ වගේම ඒ අවස්ථාවේ මම සේවය කරන ශ්‍රී ලංකා යුද හමුදා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සියලුම දෙනාමත් මේ ප්‍රශ්නයේ දී මාත් සමඟ සිටියා. ඔවුන් තමයි අදටත් මාව රැක බලා ගන්නේ. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. ඊට අමතරව මගේ පුහුණුකරු විමුක්ති සොයිසා ද මාව අතනොහැර මමත් සමඟ හිටියා. ඒ සියලු දෙනා මට විශාල ශක්තියක්.”

කාලිංගට යුක්තිය ලබා දීමට වෙරදැරූ බිරිඳගේ මව සහ පියා සමඟ බිරිඳ

මේ ප්‍රශ්නය නිසා කාලිංගට ක්‍රීඩාවේ බොහෝ දේවල් අමතක වෙලා ගියා. ඊට සහභාගී වීමේ ප්‍රියතාවයක් තිබි නැහැ. පුහුණුවීම්වලට ගියා නම් ඒ, පුහුණුකරුගේත් නිවැසියන්ගේත් පෙරැත්ත කිරීමට. මේ තත්ත්වය හරියටම වසරක් පමණ පැවති බවයි කාලිංග පවසන්නේ. 

“මම ඒ වෙද්දී මීටර් 200 තත්පර 20.71කට දුවල තිබුණේ. මීටර් 400 තත්පර 45.99කට. ඒ අවුරුද්දේ තිබුණ දකුණු ආසියානු තරගාවලිය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ. ඒ ඉසව් දෙක විතරක් නෙමේ මීටර් 400 රිලේ ටීම් එකටත් මම සහභාගී වෙන්න හිටියා. මේ ප්‍රශ්නෙ නිසා පදක්කම් තුනකට යන්න තිබුණ ගමනක් වැළැක්වුනා.”

ප්‍රශ්නය සමථයකට පත් වෙලා තවත් මාස කිහිපයක් ගිය තැන තමයි කාලිංග පියවි තත්ත්වයට පිවිස පුහුණුවිම් ආරම්භ කරන්නේ. නමුත් කොරේ පිටට මරේ වගේ පළමු කොවිඩ් රැල්ලත් එනවා. මේ නිසා කාලිංගට අවුරුදු දෙකක පමණ කාලයක් පුහුණුවිම් නැති වෙනවා. ඒත් ඉතිං හිත ඇතුලේත්, ශරීරය ඇතුලේත් තිබූ කාලිංගගේ දක්ෂතා නැවත මතු කර ගැනීමට කාලිංගටත්, පුහුණුකරු විමුක්තිටත් හැකි වෙනවා. ඒ නිසානේ අවුරුදු දෙකකට පස්සේ සහභාගී පළමු තරගයෙන්ම කාලිංග නැවත කතා බහට ලක්වෙන චරිතයක් වෙන්නේ.

කාලිංග සහ ඔහුගේ පුහුණුකරු

“වෙච්ච අසාධාරණය ගැන මොනවත් හිතාගන්න බැහැ. මම තහනම් උත්තේජක පාවිච්චි කළෙත් නැහැ. ඔඩිට් එකෙන් වගේ පනිනවා. පරීක්ෂා කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. තහනම් උත්තේජක පරීක්ෂණ කරන්න ඕන. නමුත් මේ දේවල් පරීක්ෂණය කරන්න ඕන පිළිගත් ප්‍රමිතියකින් නේද? ඒ වගේම ක්‍රීඩකයන්ගේ හඬටත් ඉඩක් දෙන්න ඕන නේද? ඒත් මෙතැනදි එහෙම දෙයක් වුණේ නැහැ. 

අපිට දෙන දේවල් නැහැ. ඒත් හරියට ඒව නම් බලනවා. ජාතික මලල ක්‍රීඩා සංගමයත් මෙතැන දී අසරණයි. ඔවුන් ස්වාධීනයි. නමුත් මෙහෙම දෙයක් වුනහම හැමෝම හිතන්නේ අනිත් පැත්ත. ක්‍රීඩකයාගේ පැත්ත ගන්නේ බොහොම සුළු පිරිසක්. හරි දැනුමක් නැති, මුදල් නැති කෙනෙක්ට මෙහෙම දෙයක් වුනා නම් එයාගෙ ක්‍රීඩා ජීවිතේම ඉවරයි. මේක පෞද්ගලිකව මම මුහුණ දුන්න ප්‍රශ්නයක් වුනාට අවසානයේ රටට වෙන පාඩුවක්. ඒ වගේ අසාධාරණයක් කිසිම ක්‍රීඩකයෙක්ට වෙන්න හොඳ නැහැ” කාලිංග පවසනවා.

කාලිංග, බිරිඳ සහ පුතු සමඟ

කාලිංග විවාහකයි. ඔහුගේ බිරිඳ දිනූෂා ලක්ෂානි. කාලිංගගේ ජිවිතයේ කඩා වැටුණ තැන් පිළිසකර කළේ ඇය කියලයි කාලිංග කියන්නේ. ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේදීත් කාලිංගත් සමඟ ඇය සියල්ල බෙදා හදා ගෙන ළඟින්ම ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ කැදැල්ල දැන් මාස 3ක සිට කිරි සිනා ඉතිරෙන නිවහනක් වෙලා. ඒ පුංචි පුතා තිවේන් අයෝද්‍ය කුමාරගේ නිසා. විවේක පාඩුවේ දී මේ පුංචි පුතාගේ ලෝකේ තමයි මේ දෙන්නම.

“ලැබෙන විවේකයෙන් වැඩි හරියක් ගත කරන්නේ ගෙදර. බිරිඳ තමයි ඉතිං හැමදේම. මේ ප්‍රශ්නවලින් මිදෙන්න ඇය මට විශාල ශක්තියක් වුනා. මට නැවත ක්‍රීඩා පිටියට එන්න පුළුවන් කියන විශ්වාසය ඇති කළේ ඇය. පාසල් කාලයේ සිටම ඇය මමත් සමඟ සිටිනවා. මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් ආදරය කරනවා. 

ඒ වගේම මගේ තාත්තා, ගාමිණි කුමාරගේ, අම්මා දමයන්ති නානායක්කාර සහ අක්කා කේශලි හේමමාලි කුමාරගේ මට විශාල ශක්තියක් වුනා. පාසල් කාලයේ සිටම මම සහභාගී වෙන හැම මීට් එකක්ම බලන්න ඒ අය එනවා. COVID නිසා මේ මිට් එක මඟහැරුණා. නැත්නම් ඔවුන් මේ මීට් එකත් බලන්න එනවා. ඒ වගේම තමයි මගේ බිරිඳගේ අම්මා දීපා ජයමාන්න සහ පියා සුගත් ලලේන්ද්‍ර. ඔවුන් මේ ප්‍රශ්නය එයාලගෙත් ප්‍රශ්නයක් ලෙසින් අරගෙන මමත් සමඟ මටත් වඩා උවමනාවෙන් මේ ප්‍රශ්නයේ දී හිටියා. ඇත්තටම මම අද මෙතැන ඉන්නේ ඔවුන්ගේ කැපවීම නිසා.”

කාලිංග, මව, පියා, අක්කා සහ බිරිඳ සමඟ

කාලිංගගේ මීටර් 400 හොඳම දක්ෂතාව වන්නේ 2008 වසරේ දී පෑ තත්පර 45.99කින් අවසන් කළ කාලය. නමුත් මෙවර තරගාවලියේ දී කාලිංගට එම ඉසව්ව නිමා කරන්න හැකි වෙන්නේ තත්පර 46.25කින්. මීටර් 200 නිමා කරන්නේ තත්පර 20.79කින්. මේ කාලය තවත් අඩුකර ගනිමින් ලොකු ගමනක් යන්න තියෙන බවයි කාලිංග පවසන්නේ. 

“මගේ දක්ෂතාව ඔප්පු කරල පෙන්නුවා. ඒ ගැන ලොකු සතුටක් සහ හිතේ සැහැල්ලුවක් තියෙනවා. ඉදිරියේ දී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය තියෙනවා. ඊට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවට වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා දෙන්න හැකි වෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ වෙනුවෙන් පුහුණුවීම් කටයුතු කරනවා. මගේ පුහුණුකරු විමුක්ති සොයිසා, ඒ වගේම මාව සම්බාහනය කරන ලලිත් කරුණානායක සහ  අරුණනාදන් ජෙරම් මාත් සමඟම විශාල ලෙස මහන්සි වෙනවා. අවසාන වශයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගනිමින් ඊට සහභාගී වීමේ බලාපොරොත්තුවක් ද තියෙනවා” කාලිංග පැවසුවා. 

කාලිංගගේ ඒ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවායි ThePapare.com හී අපගේ ද පැතුමයි.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<