තුන්වැන්නේ දී වත් හිස ඔසවමු

ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරය 2023

402
Sri Lanka tour New Zealand 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ අවසන් තරගාවලිය වන විස්සයි විස්ස තරගාවලිය මේ මස 02 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයක් සඳහා නවසීලන්තයට ගොඩ වුන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට ටෙස්ට් සහ එක්දින තරගාවලි ද්විත්වය ම පරාජය වී අවසන්. මේ පරාජයන්වල දී අප ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය අහිමි කර ගත් අතර එක්දින තරගාවලියේ දී එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට සෘජුව ම සම්බන්ධ වීමට තිබූ අවස්ථාව ද අහිමි කර ගනිමින් පරාජයට පත්වුනා.

එතැන් සිටයි මේ තරගාවලිය.

තරග කාලසටහන

  • පළමු විස්සයි විස්ස තරගය – අප්‍රේල් 02 වැනිදා Auckland හිදී.
  • දෙවැනි විස්සයි විස්ස තරගය – අප්‍රේල් 05 වැනිදා Dunedin හිදී.
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – අප්‍රේල් 08 වැනිදා Queenstown හිදී.

ප්‍රමුඛ බලාපොරොත්තු ද්විත්වයක් සමඟින් නවසීලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරග සංචාරයේ යම් හෝ හොඳක් අසන්නට නම් තරගාවලියේ වාසිය තමන් වෙත ලබා ගත යුතුයි. නමුත් තරගාවලි ද්විත්යක ම වාසිය තමන් වෙත ලබා ගත් සත්කාරක ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී ද සංචාරකයන්ට එවැන්නකට ඉඩ තබතැයි විශ්වාස කළ නොහැකියි.

පෙර තරග තොරතුරු පවසන්නේ ද එවැනි ම කතාවක්.

දෙරට අතර විස්සයි විස්ස තරග ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ ආරම්භය මීට වසර 17ක් ඈතට දිවයයි. එතැන් සිට දෙරට අතර විස්සයි විස්ස තරග 20ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක ජයග්‍රහණය නවසීලන්තය සතු වන අතර ශ්‍රී ලංකාව සතු වූ ජයග්‍රහණ සංඛ්‍යාව 7ක්. තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන අතර අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විස්සයි විස්ස තරගාවලියක දී මේ හමුවෙන්නේ වසර 4කට පසුවයි. ඔවුන් අවසන් වරට මෙරට දී තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියකට මුහුණ දුන් අතර එහි දී නවසීලන්තය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

එහි දී ශ්‍රී ලංකාව ලසිත් මාලිංග විසින් මෙහෙයවන ලද අතර නවසීලන්තය Tim Southee විසින් මෙහෙයවනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මීට පෙර නවසීලන්තයේ දී අවසන් වරට හමුව ඇත්තේ 2019 වසරේ දී. විස්සයි විස්ස තරගයකින් පමණක් සමන්විත වූ එම තරගාවලියේ ජය නවසීලන්තය සතු වෙනවා. එම තරගයේ ද නායකයන් ලෙස කටයුතු කරන්නේ පෙර දෙදෙනාමයි.

නමුත් දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී Sydney ක්‍රීඩාංගණයේ දී පසුගිය ඔක්තෝබරයේ දී හමුවෙනවා. එම තරගයේ දී දසුන් ශානක සහ Kane Williamson කණ්ඩායම් නායකයන් ලෙසින් කටයුතු කළ අතර තරගයේ ජයග්‍රහණය නවසීලන්තය සතු වෙනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය හමුවෙන මෙම තරගාවලිය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිට පිට ම ද්විත්ව තරගාවලි 6ක් පරාජය වෙමින් සහ නවසීලන්තය පිට පිට ද්විත්ව තරගාවලි 2ක් පරාජය වෙමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයා වනුයේ නායක දසුන් ශානකයි. 31 හැවිරිදි දසුන් මේ දක්වා ශ්‍රී ලංකා නායකත්වයේ කබාය පැලඳ තරග 45ක දී පිටියට පිවිස ඇති අතර ඉන් තරග 22ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද අතර තරග 22ක් පරාජය වී තිබෙනවා. එක් තරගයක් අවසන් වෙන්නේ ලකුණු සම වීමෙන්.

පිතිකරුවෙක් ලෙසින් දසුන් විස්සයි විස්ස තරග 85කට සහභාගී වෙමින් ලකුණු 1328ක් ලබා තිබෙන අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 23ක් ලබා තිබෙනවා. ඔහු අවසන් ඉනිම ත්‍රිත්වයේ දී නොදැවී ලබා ගත් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 124ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 62.00කි.

නවසීලන්තයට එරෙහිව ඔහුගේ දක්ෂතා දැක්වෙන්නේ ඉනිම 5ක දී ලකුණු 66ක්.

විස්සයි විස්ස පිටියේ සුපිරි පෙළැන්තියේ ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙන උප නායක වනිඳු හසරංග ද සිල්වා කණ්ඩායමේ තරග දිනවන්නා ලෙසින් හැඳින්වීමේ කිසිදු දෝෂයක් නැහැ. නමුත් පසුගිය කාලයේ ඔහුගේ දක්ෂතා ගොනු කර ගැනීමේ දුර්වලතාවෙන් මිදීමේ අවශ්‍යතාව දැඩිව පවතිනවා.

කෙසේ වෙතත් වනිඳු මේ දක්වා විස්සයි විස්ස තරග 55කට සහභාගී වෙමින් කඩුලු 89ක් ලබා සිටිනවා. ඒ අතර නවසීලන්තයට එරෙහිව තරග 4ක දී කඩුලු 5ක් ද තිබෙනවා. ඔහු සහභාගී වූ අවසන් තරග ත්‍රිත්වයේ දී ලබා ඇත්තේ කඩුලු 3ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහු ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 99ක්.

32 හැවිරිදි කුසල් පෙරේරා නම් කරන ලද සංචිතයේ විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණුලාභියා ලෙසින් නම් කළ හැකියි. ඔහු තරග 60ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1539ක්. ඉන් ලකුණු 121ක් නවසීලන්තයට එරෙහි ව තරග 6ක් තුළ ලබා තිබෙනවා.

මේ ත්‍රිත්වයට අමතර ව වඩාත් බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයන් වනුයේ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකයි. කුසල් මේ දක්වා විස්සයි විස්ස තරග 52ක සහ පැතුම් තරග 39ක අත්දැකීම් සපුරා ඇති ක්‍රීඩකයන්. ඔවුන් දෙදෙනා ම පෞද්ගලිකව ලකුණු 1000 ඉක්මවමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

ඔවුන්ට අමතර ව මෙම ලැයිස්තුවේ ධනංජය ද සිල්වා ද සිටිනවා.

පන්දු යවන්නන් අතරට එක් ව සිටින දකුණතින් වේගපන්දු යවන කසුන් රාජිත සහ දකුණතින් පිට දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ ට පැවරෙන වගකීම් ද සුළු පටු නැහැ. ඔය අතරට නවසීලන්තයට එරෙහිව පළමු වරට දක්ෂතා මුදා හැරීමට පිටියට පිවිසෙන වමතින් මඳ වේගපන්දු යවන ඩිල්ශාන් මධුශංක ද සිටිනවා.

මෙතෙක් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර වරම් දිනා ඇති 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ ද මෙම කණ්ඩායම හා එක්වෙමින් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට බලා සිටින ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකි.

24 හැවිරිදි දකුණත් පිතිකරු ලසිත් කෲස්පුල්ලේ මෙවර කණ්ඩායම වෙනුවෙන් නම් කර ඇති කෝඩුකාරයෙක්. මෙතෙක් විස්සයි විස්ස තරග 36කට සහභාගී වෙමින් ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 668ක්. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 18.55ක් ලෙසයි. නිමා වූ දේශීය තරග පිටියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙම සංචාරයට එක් කර තිබෙනවා.

එමෙන් ම නිමා වූ ජනවාරියේ දී ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා වරම් දිනා ගත් 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දුට මෙම තරගාවලියේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමි වේ යැයි විශ්වාස කළ හැකි ක්‍රීඩකයෙක්.

ඔහුගේ දේශීය විස්සයි විස්ස තරග පිටියේ දක්ෂතා ගොනු වෙන්නේ ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 760ක් ලෙසයි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය: දසුන් ශානක (නායක), වනිඳු හසරංග ද සිල්වා (උප නායක), චරිත් අසලංක, ලසිත් කෲස්පුල්ලේ, ධනංජය ද සිල්වා, නුවනිඳු ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ඩිල්ශාන් මධුශංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, මතීෂ පතිරණ, කුසල් පෙරේරා (කඩුලු රකින්නා), ප්‍රමෝද් මධුශාන්, කසුන් රාජිත, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ.

නවසීලන්තය

නවසීලන්තය විසින් නම් කරන ලද ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් සේ ම ශ්‍රී ලංකාවට එරෙහිව නම් කරන ලද කණ්ඩායම ද අපේ ක්‍රීඩකයන් අඩු තක්සේරුවට දා නම් කරන ලද කණ්ඩායමක් සේ බැලූ බැල්මට ම පෙනේ.

නවසීලන්ත නායක Tom Latham ම ඊට හොඳම උදාහරණයක්. ඔහුට මෙම තරග සංචාරය හා එක් වීමට ආරාධනා ලැබෙන්නේ ඔහු නොමැතිව ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග 35ක පසුවයි.

2012 වසරේ විස්සයි විස්ස වරම් දිනා ගත් Tom Latham 2021 වසරේ දී අවසන් වරට නවසීලන්තය නියෝජනය කරද්දී වසර 9ක් පුරාවට ම ක්‍රීඩා කර ඇත්තේ තරග 18කට පමණයි. ඉන් තරග 5ක දී නායකත්වයේ කටයුතු කරන ඔහු ඉන් තරග 2ක් ජයග්‍රහණය කරා මෙහෙයවන අතර අනෙක් තරග නිමා කරන්නේ පරාජිතවයි.

30 හැවිරිදි මේ නවසීලන්ත නායකයා ඉනිම 15ක දී පිටියට පිවිස ලබා ඇති ලකුණු සංඛ්‍යාව 322ක්. ඉන් ලකුණු 24ක් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2ක් තුළ ලබා ගෙන තිබෙනවා.

නම් කරන ලද නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන් අතරින් පෙරමුණේ පසු වෙන්නේ 31 හැවිරිදි Daryl Mitchell. ඔහු විස්සයි විස්ස තරග 44කට සහභාගී වෙමින් ලකුණු 888ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.

නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග 91කට සහභාගී වෙමින් කඩුලු 114ක් ලබා සිටින Ish Sodhi ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට සිදු වන ප්‍රධානත ම පා දඟපන්දු යවන්නායි. නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර දෙවැනි අසුන හිමි කර ගෙන සිටින Ish Sodhi ශ්‍රී ලංකාවට එරෙහිව තරග 5කට සහභාගී වෙමින් කඩුලු 7ක් ලබා සිටිනවා.

නවසීලන්තය මෙම තරගාවලිය සඳහා කෝඩුකාරයින් දෙදෙනෙක් ද නම් කරනවා. ඉන් පළමුවැන්නා වන්නේ Chad Bowes. ශ්‍රී ලංකාව සමග නිමා වූ එක්දින තරගාවලියේ දී පළමු වරට නවසීලන්තය නියෝජනය කළ මේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා විස්සයි විස්ස පිටියට අනිවාර්යයෙන් ම කැඳවෙනු ඇතැයි විශ්වාස කළ හැකි ක්‍රීඩකයෙක්.

ඔහු විස්සයි විස්ස පිටියේ තරග 85කට සහභාගී වෙමින් අර්ධ ශතක 20ක් සමඟින් ලකුණු 2327ක් ලබා සිටිනවා.

ඊට අමතර ව නම් කරන ලද අනෙක් කෝඩුකාරයා වන්නේ නවසීලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 4කට පමණක් සහභාගී වී ඇති 26 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන Henry Shipley. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 34ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 31ක්.

නවසීලන්ත විස්සයි විස්ස සංචිතය: Tom Latham (නායක සහ කඩුලු රකින්නා), Chad Bowes, Mark Chapman, Matt Henry, Benjamin Lister, Adam Milne, Daryl Mitchell, James Neesham, Rachin Ravindra, Tim Seifert (කඩුලු රකින්නා), Henry Shipley, Ish Sodhi, Will Young.

ශ්‍රී ලංකාව මේ වෙද්දී ටෙස්ට් තරගාවලි 3ක, එක්දින තරගාවලි 3ක සහ විස්සයි විස්ස තරගාවලි 6ක් ඇතුළු තරගාවලි 10ක දී ජයග්‍රහණයේ පහස විඳ නැහැ. එබැවින් එහි සා පිපාසාව මග හැර ගැනීමට නම් මෙම තරගාවලියේ ජයග්‍රහණය අනිවාර්යයෙන් ලැබිය යුතු වෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන්ට ThePapare.com හී සුබ පැතුම්! තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<