තීරණාත්මක තරගාවලියක් අභියස සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2023

648

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත වන්නේ දෙරට අතර පැවැත්වෙන 100 වැනි සැමරුම් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද සමඟින්.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයේ නිරත වූයේ අභියෝග 2කට මුහුණ දෙමින්. ඉන් පළමු වැන්න ටෙස්ට් තරගාවලි පරාජයත් සමඟින් නිමා වූයේ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැර ගනිමින්.

දැන් අභියෝගය වන්නේ එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව ම සම්බන්ධ වීමට හැකි වාතාවරණය උදා කර ගැනීමේ අවස්ථාවට මුහුණ දීමයි. එම අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සිටින තැන
  Team M W L NR PT NRR
1 එංගලන්තය 24 15 8 1 155 0.976
2 නවසීලන්තය 21 14 5 2 150 0.697
3 ඉන්දියාව 21 13 6 2 139 0.782
4 බංග්ලාදේශය 21 13 8 0 130 0.233
5 පාකිස්තානය 21 13 8 0 130 0.108
6 ඕස්ට්‍රේලියාව 18 12 6 0 120 0.785
7 ඇෆ්ගනිස්තානය 15 11 3 1 115 0.573
8 බටහිර ඉන්දීය කොදෙව් 24 9 15 0 88 -0.738
9 දකුණු අප්‍රිකාව 19 7 10 2 78 -0.410
10 ශ්‍රී ලංකාව 21 7 12 2 77 -0.094

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග ඉතිහාසය

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 99ක් පවත්වා ඇති අතර ඉන් තරග 49ක ජයග්‍රහණ නවසීලන්තය සතු වෙද්දී තරග 41ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙනවා. ඉතිරි තරග අතරින් තරගයක් ලකුණු සම වීමෙන් ද, තරග 8ක් විසඳුමකින් තොරව ද අවසන් ව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ද්විත්ව එක්දින තරගාවලියක දී එක්ව ඇත්තේ 2019 වසරේ දී නවසීලන්තයේ දී. එවර නවසීලන්ත නායකයා ලෙසින් Kane Williamson කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ නායකත්වය දැරුවේ ලසිත් මාලිංගයි. තරගාවලිය 3-0ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග ඉතිහාසයේ අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණය ලබා ඇත්තේ 2012 වසරේ දී නවසීලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයේ දී. තරග 5කින් යුත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරග 3-0කින් ජයග්‍රහණය කරන ලද අතර තරග 2ක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙනවා.

එවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධන දැරූ අතර නවසීලන්තයේ නායකයා ලෙසින් කටයුතු කළේ Ross Taylor.

ශ්‍රී ලංකාව

දසුන් ශානක මෙවරත් නායකත්ව සමඟින් මෙම තරගාවලිය හා එක් වෙන්නේ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 20ක දී ශ්‍රී ලංකා කබාය පැලඳි අත්දැකීම් ද සමඟින්. එම තරග අතරින් තරග 9ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් ව තිබෙනවා. නිමා වූ තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී, ඉතිරි තරග 10ක විසඳුම වන්නේ පරාජයයි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේ දී නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිතයි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා මෙවර එක් වෙන්නේ 2021 මාර්තු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තරගාවලියෙන් අනතුරුවයි.

මැතිව්ස් මේ දක්වා එක්දින තරග 218ක දී ලකුණු 5835ක් ලබා සිටින අතර ඉන් නවසීලන්තයට එරෙහිව අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 466ක් ලබා සිටිනවා.

කණ්ඩායමේ වැඩි අවධානයක් සහිත ක්‍රීඩකයන් අතරින් ධනංජය ද සිල්වා ට ඇත්තේ ප්‍රබල ස්ථානයක්. එමෙන් ම උප නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ චරිත් අසලංක ද පිතිකරු ලැයිස්තුව වෙනුවෙන් සන්නද්ධ විය යුතු ක්‍රීඩකයෝ ලෙසින් හැඳින්වෙනවා. පන්දු යවන්නන් අතරින් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කෙරෙහි වැඩි අවධානය යොමු වෙන අතර කසුන් රාජිත, දුශ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ ද ඊට පසු පසින් එක් වෙනවා.

කෙසේ වෙතත් මෙවර කණ්ඩායම සඳහා කෝඩුකාර ක්‍රීඩකයන් දෙදෙනෙක් ද නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා. ඒ සහන් ආරච්චිගේ සහ මතීෂ පතිරණයි.

ඉදිරි පෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන 26 හැවිරිදි සහන් ආරච්චිගේ මේ දක්වා පළමු පෙළ තරග 48ක දී ශතක 4ක් සමඟින් ලකුණු 2504ක් ලබා සිටිනවා.  දකුණතින් පිට දඟපන්දු යවමින් ලබා ඇති කඩුල සංඛ්‍යාව 32ක්.

දකුණතින් මද වේගපන්දු යවන මතීෂ පතිරණ මෙවර කණ්ඩායමට නම් කරන ලද කෝඩුකාරයන් අතර ළාබාලතම ක්‍රීඩකයායි. තවමත් 20 හැවිරිදි වියේ පසුවෙන මතීෂ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් සහභාගී වී ඇති අතර තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 2ක් පමණයි.

ඔවුන්ට අමතර ව ජාත්‍යන්තර අත්දැකීම් එතරම් ම නොමැති වූවත් කණ්ඩායම හා එක් ව සිටින නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ප්‍රමෝද් මධුශාන් සහ ඩිල්ශාන් මධුශංක ද මෙවර තරගාවලියේ දී අවධානයට ලක් වන ක්‍රීඩකයෝ ලෙසින් හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: දසුන් ශානක (නායක) කුසල් මෙන්ඩිස් (උප නායක) සහන් ආරච්චිගේ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, නුවනිඳු ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ඩිල්ශාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, මතීශ පතිරණ, ප්‍රමෝද් මධුශාන්, කසුන් රාජිත, සදීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර

නවසීලන්තය

ශ්‍රී ලංකාව අතිශය වැදගත් මෙම එක්දින තරග සංචාරයට නවසීලන්තය එක් වෙන්නේ නිත්‍ය නායක Kane Williamson මෙන් ම ප්‍රධාන පෙළේ දක්ෂතා දක්වන තවත් කිහිප දෙනෙක් ම නොමැතිවයි. ඒ එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙන් ඔවුන් නිදහස් කිරීම හේතුවෙන්.

මේ පිරිස අතර පළමු තරගයට නම් කරන ලද ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද එම තරගයෙන් අනතුරුව IPL තරගාවලිය සඳහා එක් වීමට නියමිතයි. ඒ අතර පළමු එක්දින තරගයට පමණක් නම් කර තිබූ 31 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Lockie Ferguson ද ආබාධයකට ලක් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වෙන බවයි එරට ආරංචි මාර්ග පවසන්නේ. මේ හේතුවෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 8 දෙනෙක් පමණ මෙම සංචාරයේ දී  නවසීලන්තය වෙනුවෙන් තරග කරන්නේ නැහැ.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් හිස් වෙන අසුන් සඳහා  නවකයන් තිදෙනෙක්ගෙන් යුත් 15 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට ඔවුන් නම් කර තිබෙනවා.

එම සංචිතයට එක් වෙන පළපුරුදු යෞවනයා වන්නේ 30 හැවිරිදි Chad Bowes. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 82කට සහභාගී වෙමින් ලකුණු 2806ක් ලබා ඇති දකුණත් පිතිකරුවෙක්.

දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අමතර ව නායකත්වය ද දරා ඇති Chad Jayson Bowes 2015 වසරේ සිට නවසීලන්තයට සංක්‍රමණික වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නෙක්.

නවසීලන්තය වෙනුවෙන් කරළියට එන අනෙක් කෝඩුකාරයා වන්නේ 27 හැවිරිදි වමතින් මද වේගපන්දු යවන Benjamin Lister. ඔහු නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් එක් තරගයකට පමණක් ක්‍රීඩා කර තිබෙනවා.

23 හැවිරිදි වමත් පිතිකරු Rachin Ravindra ද නවසීලන්තය වෙනුවෙන් තරග පිටියට එක් වෙන කෝඩුකාරයෙක්. ඔහු මේ දක්වා නවසීලන්තය වෙනුනේ ටෙස්ට් තරග 3කට සහ විස්සයි විස්ස තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති අතර එක්දින කෝඩුකාරයෙක් ලෙසයි ඔහු හැඳින්වෙන්නේ.

Tom Latham

කණ්ඩායමේ නායකයා වන Tom Latham කඩුලු රැකීමේ ද නිරත වෙන ඉදිරි පෙළ පිතිකරුවෙක්. මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 123කට ක්‍රීඩා කර ඇති Tom Latham ශතක 7ක් සමඟින් ලකුණු 3467ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව තරග 14කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 255ක්.

නවසීලන්තය වෙනුවෙන් මේ දක්වා එක්දින තරග 24ක දී නායකත්වය ලබා දී ඇති Tom Latham ඉන් තරග 19ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටිනවා. ඉන් තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී තරග 4ක දී පරාජය වී තිබෙනවා.

Matt Henry

31 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Matt Henry මේ දක්වා එක්දින තරග 65කට ක්‍රීඩා කරමින් කඩුලු 116ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග පිටියට පිවිසෙන ප්‍රබලතම නවසීලන්ත වේගපන්දු යවන්නායි. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරග 10කට සහභාගී වෙමින් ලබා සිටින කඩුලු ප්‍රමාණය 21ක්.

Henry Nicholls

31 හැවිරිදි ඉදිරි පෙළ වමත් පිතිකරු Henry Nicholls නවසිලන්තය වෙනුවෙන් එක්දින තරග 61කට සහභාගී වී ලකුණු 1652ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 220ක් ලබා සිටින ඔහුගේ තරග දිවියේ වාර්තා කරන ලද එක ම ශතකය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වීමත් විශේෂත්වයක්.

නවසීලන්ත එක්දින ක්‍රිකට් සංචිතය: Tom Latham (නායක) Finn Allen, Tom Blundell, Chad Bowes, Mark Chapman,  Matt Henry, Benjamin Lister, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Michael Bracewell.

මෙම තරගාවලියේ දී මෙසේ ද සිදු විය හැකියි.

  • ශ්‍රී ලංකාව – 400 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණයට අවශ්‍යව ඇත්තේ තවත් එක් තරගයක ජයග්‍රහණයක් පමණයි.
  • නවසීලන්තය – ශ්‍රී ලංකාවට එරෙහිව 50 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණයට අවශ්‍යව ඇත්තේ තවත් එක් තරග ජයග්‍රහණයක් පමණයි.
  • ඇන්ජලෝ මැතිව්ස් – එක්දින ජාත්‍යන්තර ලකුණු 6000 කඩඉමට ලගා වීම. ඔහුට මේ සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 165ක් පමණයි.
  • දසුන් ශානක – එක්දින ජාත්‍යන්තර තරග 50 සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් තරග 2ක් පමණයි.
  • දුෂ්මන්ත චමීර – එක්දින ජාත්‍යන්තර කඩුලු 50 සම්පූර්ණ කිරීම. මේ සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 6ක් පමණයි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – මාර්තු 25 වැනිදා Auckland හිදී.
  • දෙවැනි එක්දින තරගය – මාර්තු 28 වැනිදා Christchurch හිදී.
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 31 වැනිදා Hamilton හිදී.

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<