සදීර සහ කමිල්ගේ සටන්කාමී ඉනිම් නිසා ශ්‍රී ලංකා ගෞරවය රැකේ

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

979
Pakistan A tour of Sri Lanka 2021

ශ්‍රී ලංකා A හා පකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය අද (07) නිමාවට පත්වුනේ ජය පරාජයෙන් තොරවයි.

අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගයේ සිව්වැනි සහ අවසාන දිනය වූ අද (07) දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 317ක් රැස්කරගෙන තිබුණා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ තෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 102ක් රැස්කර සිටියා.

අද දිනය ආරම්භයේ සිටම පාකිස්තාන පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් අලංකාර පිතිකරණයක නිරත වූ කමිල් මිෂාර සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 143ක්.

පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේ ද කමිල් ලකුණු 98ක් ලබා සිටිය දී සිය ශතකය පෙනෙන මානයේ දී දැවී ගියේ දිවා ආහාරයට සුළු මොහොතකට පෙර Khurram Shahzad යොමු කළ පන්දුවක් හමුවේයි.

කමිල්ගේ ඉනිමට අමතරව නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ සදීර දිවා ආහාරයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 68ක් රැස්කර තිබූ අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 198ක් රැස්කර ගනිමින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 129ක් පිටුපසින් සිටියා.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ වී සුළු වෙලාවකට පසු නුවනිඳු ප්‍රනාන්දු ලකුණු ලබා ගැනීමට පෙරම දුවද්දී දැවී යාමකට හසුවීම නිසාවෙන් පිටියෙන් ඉවත් වුනා. ඉන්පසු පිටියට එක්වුනේ සම්මු අශානුයි.

සම්මු අශාන් හට මෙම ඉනිමේ ද සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් Ahmed Safi Abdullah ලකුණු 3ක් ලබා සිටි සම්මු ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් දවා ගැනීමට සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 216ක් වන විටයි.

ඉන්පසු පිටියට පැමිණි ශ්‍රී ලංකා A පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුමින්ද ලක්ෂාන් හයවැනි කඩුල්ල සඳහා සදීර සමඟින් එක්ව ලකුණු 68ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව Kamran Ghulamගේ පන්දුවක් දැවී ගියේ ලකුණු 25ක් රැස්කරගෙන සිටිය දීයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ගැළවුම්කරුවා බවට පත්වෙමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක සදීර පන්දු 223ක් තුළ එක් හයේ පහරක් සහ හතරේ පහර 26ක් සමඟින් නොදැවී ලකුණු 151*ක් රැස්කළා.

අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 317ක් රැස්කර ගනිමින් පාකිස්තාන A පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පිටුපසින් සිටියා.

තරගය නැවත ආරම්භ කිරීමට පැවති කාලගුණ තත්වය යටතේ හැකියාවක් නොලැබුණු නිසාවෙන් මෙම තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදු වුනේ තරගාවලිය ද ජය පැරදුමෙන් තොරව අවසන් කරමිනි.

  • පාකිස්තාන A පළමු ඉනිම – 394/10 (106): Abdullah Shafique 117, Agha Salman 103, Kamran Ghulam 45, චාමික ගුණසේකර 6/83
  • ශ්‍රී ලංකා A පළමු ඉනිම – 67/10 (22.2): සුමින්ද ලක්ෂාන් 29, නිපුන් ධනංජය 17, Naseem Shah 4/25, Khurram Shahzad 3/10
  • ශ්‍රී ලංකා A දෙවැනි ඉනිම – 317/6 (86.4): සදීර සමරවික්‍රම 151*, කමිල් මිෂාර 98, Khurram Shahzad 2/67, Agha Salman 1/40

ශ්‍රී ලංකා A හා පාකිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය බදාදා (10) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<