Home Sinhala Shipley සමඟ හැප්පුනු ශ්‍රී ලංකා ක්‍රිකට් යාත්‍රාව ගිලී යයි!

Shipley සමඟ හැප්පුනු ශ්‍රී ලංකා ක්‍රිකට් යාත්‍රාව ගිලී යයි!

2695
Credit : AFP/Getty Images

2023 එක්දින ලෝක කුසලානය සඳහා කෙලින්ම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් 3-0ක ජයක් අපේක්ෂාවෙන් ඇරඹුනු ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය අද (25) ලකුණු 198ක අමිහිරි පරාජයක වේදනාව සමඟින් අවසන් වුනා.

ඕක්ලන්ඩ් නුවර Eden Park පිටියේ දී ක්‍රියාත්මක වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හිමිවෙද්දී ඔහු මුලින් පන්දු යැවීම තෝරා ගත්තා. අද නවසීලන්තය වෙනුවෙන් නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජාත්‍යන්තර වරම් ලබා දීමට ඔවුන් තීරණය කර තිබුනා.

ඒ දකුණත් පිතිකරු Chad Bowes සහ තුන් ඉරියව් ක්‍රීඩක Rachin Ravindraටයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වසර 2ක නිහැඬියාවකින් පසු එක්දින කණ්ඩායමට ඇතුලත් වී තිබුනා. ඒ අනුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩක සංයුතිය දැක්වුනේ පහත අයුරිනුයි.

නවසීලන්තය : Tom Latham (නායක), Chad Bowes, Finn Allen, Will Young, Daryl Mitchel, Glenn Phillips, Rachin Ravindra, Henry Shipley, Matt Henry, Ish Sodhi, Blair Tickner.

ශ්‍රී ලංකාව : දසුන් ශානක (නායක), නුවනිඳු ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, චරිත් අසලංක, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, කසුන් රාජිත, ලහිරු කුමාර, දිල්ශාන් මධුශංක.

මංගල තරගයට ක්‍රීඩා කළ Chad Bowes අද ලකුණු 14කට දැවී යද්දී Fin Allen ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැරෙන් පහර දෙමින් පන්දු 49කදී ලකුණු 51ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින්. ඉදිරි පාදයේ අලංකාර පහර කිහිපයකින්ම ලකුණු සොයාගත් ඔහු තවත් එවැනිම පහරකට උත්සාහ දරද්දී පන්දුව තර්ඩ්මෑන් කලාපයේ සිටි කසුන් රාජිත අතට ඇදී ගියා.

අද තම පන්දු යැවීමෙන් නිසි ඵල නෙලාගත් දසුන් ශානක ඉතා හොඳ පන්දුවාර කිහිපයකින් පසු Tom Lathamව ලකුණු 5කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනා. ලකුණු 47ක් ලබාසිටි Daryl Mitchellට ඔහු එල්ල කල පහරක් මිඩ්-ඕන් කලාපයේ සිටි චාමික කරුණාරත්න නිසි කලට ගුවනට පැන උඩපන්දුවක් බවට හරවා ගැනීම නිසා දැවී යන්නට සිදුවුනා.

මේ වනවිට නවසීලන්තයේ කඩුලු 5ක් ලකුණු 152ක් තුල දැවී ගොස් තිබූ අතර ශ්‍රී ලංකාවට සත්කාරකයින් අඩු ලකුණු ගණනකට සීමා කරන්නට කදිම අවස්ථාවක් උදාවී තිබුනා. නමුත් තවදුරටත් ආක්‍රමණශීලී වනවා වෙනුවට අද දිනයේ වැඩි දස්කම් නොපෙන්වූ පන්දු යවන්නන්ගේ පන්දුවාර කිහිපයක් අවසන් කර ගැනීමට මෙම මොහොත භාවිතා කිරීම කණ්ඩායමට දැඩි අවාසියක් වුනා.

මෙහි අවසන් ප්‍රතිඵලය වුනේ සයවැනි කඩුල්ල වෙනුවෙන් Glenn Phillips සහ නවක ක්‍රීඩක Rachin Ravindra අතරේ ලකුණු 66ක සබඳතාවයක් ගොඩ නැගීමයි. ලද අවසරයෙන් පිටියේ ස්ථාවර වූ මොවුන් දෙදෙනා අවසානයේ අද දස්කම් අතර සිටි පන්දු යවන්නන්ට පවා පහර එල්ල කිරීමට සමත් වුනා.

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී මංගල තරගයට ක්‍රීඩා කරන බවක් නොපෙන්වූ Rachin Ravindra ලකුණු 274ක් දක්වා තම කණ්ඩායම කැටුව ආවා. ඒ ලකුණු 49ක් ලබා ගනිමින්. පන්දු යැවීමේ දී තම හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කළ චාමික කරුණාරත්න ලකුණු 43කට කඩුලු 4ක් බිඳ හෙලුවා. මීට අමතරව කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙලද්දී වනිඳු හසරංගට සහ ඩිල්ශාන් මධුශංකට එරෙහිව පහසුවෙන් ලකුණු රැස් කිරීමට නවසීලන්තයට හැකිවුනා.

ලකුණු 275ක් යනු නූතන එක්දින තරග වල එතරම් අභියෝගයක් නොවන නිසා ශ්‍රී ලංකාව අද නවසීලන්තයට පාඩමක් උගන්වනු ඇතැයි බොහෝ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනා. නමුත් වගකීම් විරහිත පිතිකරණයේ ප්‍රතිඵලයක් ලෙස හොඳ පිතිකරණ තණතිල්ලක් මතදී පවා ඔවුන්ට සිදුවුනේ ලකුණු 76කට සීමා වන්නටයි.

ඉනිම ඇරඹූ නුවනිඳු ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක තෙවැනි ලකුණ වෙනුවෙන් පැති මාරු කරගන්නට යාමේදී දුවද්දී දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිමට කණකොකා හැඬීම ඇරඹුනා. ඊලඟ පන්දුවාරයේ දී දෝලනය වන පන්දුවක් හමුවේ පැතුම් නිස්සංකගේ පා ඉන්න යාර කිහිපයක් ගුවනේ පියඹා ගියේ Henry Shipleyට පළමු කඩුල්ල හිමිකර දෙමින්.

පන්දු 15ක් පුරාවට ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ කුසල් මෙන්ඩිස් තම ඉවසීමේ රතු ඉර පැන ගිය තැන එල්ල කළ පුල් පහර Tickner ඩීප් ෆයින් ලෙග් හි සිට සුරැකිව රැක ගත්තා. ඒ Shipleyට දෙවැනි කඩුල්ලත් හිමිකර දෙමින්. ඉන් නොනැවතුනු Shipley චරිත් අසලංක සහ දසුන් ශානකවත් ලකුණු 10කට අඩුවෙන් නැවත හරවා යවන්නේ ශ්‍රී ලංකාව අන්ත අසරණ කර දමමින්.

අද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18ක් රැස් කරද්දී චාමික කරුණාරත්න ලකුණු 11ක් ලබා ගත්තත් මේ කිසිදු ඉනිමක් ශ්‍රී ලංකා කණ්ඩායම අවමානයෙන් ගලවා ගන්නට පවා ප්‍රමාණවත් වුනේ නැහැ. අද තරගය සඳහා යොදාගෙන තිබූ බේලයන් (Bails) වල කුමක් හෝ වරදක් තිබූ අතර එක් අවස්ථාවක දී චාමික කරුණාරත්න මේ නිසා දුවද්දී දැවී යාමකින්ද ගැලවුනා.

ඒ තම සීමා ඉර තහවුරු කිරීමට පෙර කඩුල්ලෙන් බේලයන් ඉවත් වන බව පුනරූපන මගින් පැහැදිලිව පෙනෙන්නට තිබුනත් බේලයන් වල ආලෝකය විහිදීමක් දකින්නට නොලැබුනු නිසයි. මේ අනුව තෙවැනි විනිසුරු එය නොදැවී යාමක් ලෙස මතභේදාත්මක තීරණයක් ලබා දුන්නා. මීට ආසන්න අවස්ථාවක් කසුන් රාජිත පන්දු යැවීමේදී ද දැක ගන්නට ලැබුනු අතර ඔහු යැවූ පන්දුව Finn Allenගේ කඩුල්ලේ හොඳින් ගැටුනත් බේලයන් ඉවත් වීම හෝ ආලෝකය විහිදීම දැක ගන්නට ලැබුනේ නැහැ.

අද එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා සිටි ලහිරු කුමාර දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් වෙද්දී Henry Shipley අද තම කෙටි එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 31ට කඩුලු 5ක් බිඳ දමා අවසන්ව තිබුනා. තරගයේ වීරයා සම්මානය ද හිමිවුනේ ඔහුටයි. මීට අමතරව Daryl Mitchell සහ Blair Tickner කඩුලු දෙක බැඟින් දවා ගත්තා.

Result


New Zealand
274/10 (49.3)

Sri Lanka
76/10 (19.5)

Batsmen R B 4s 6s SR
Chad Bowes c Dilshan Madushanka b Lahiru Kumara 14 15 2 0 93.33
Finn Allen c Kasun Rajitha b Chamika Karunaratne 51 49 5 2 104.08
WA Young c Charith Asalanka b Chamika Karunaratne 26 28 2 1 92.86
Daryl Mitchell c Chamika Karunaratne b Lahiru Kumara 47 58 3 2 81.03
Tom Latham c Kusal Mendis b Dasun Shanaka 5 17 0 0 29.41
Glenn Phillips c Dhananjaya de Silva b Dilshan Madushanka 39 42 3 2 92.86
Rachin Ravindra c Dasun Shanaka b Kasun Rajitha 49 52 4 1 94.23
Henry Shipley c Pathum Nissanka b Chamika Karunaratne 6 15 0 0 40.00
Matt Henry c Dasun Shanaka b Chamika Karunaratne 0 2 0 0 0.00
Ish Sodhi c Kusal Mendis b Kasun Rajitha 10 18 0 0 55.56
Blair Tickner not out 6 4 1 0 150.00


Extras 21 (b 2 , lb 4 , nb 3, w 12, pen 0)
Total 274/10 (49.3 Overs, RR: 5.54)
Bowling O M R W Econ
Kasun Rajitha 7.3 0 38 2 5.21
Dilshan Madushanka 8 0 58 1 7.25
Lahiru Kumara 10 0 46 2 4.60
Chamika Karunaratne 9 0 43 4 4.78
Wanindu Hasaranga 10 0 67 0 6.70
Dasun Shanaka 5 1 16 1 3.20


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Henry Shipley 9 10 2 0 90.00
Nuwanidu Fernando run out () 4 6 0 0 66.67
Kusal Mendis c Blair Tickner b Henry Shipley 0 16 0 0 0.00
Angelo Mathews lbw b Blair Tickner 18 25 3 0 72.00
Charith Asalanka c Tom Latham b Henry Shipley 9 12 2 0 75.00
Dasun Shanaka c Daryl Mitchell b Henry Shipley 0 1 0 0 0.00
Chamika Karunaratne c Glenn Phillips b Henry Shipley 10 23 1 0 43.48
Wanindu Hasaranga c Chad Bowes b Daryl Mitchell 2 4 0 0 50.00
Kasun Rajitha c Chad Bowes b Daryl Mitchell 5 9 1 0 55.56
Lahiru Kumara c Rachin Ravindra b Blair Tickner 11 11 1 1 100.00
Dilshan Madushanka not out 4 2 1 0 200.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 76/10 (19.5 Overs, RR: 3.83)
Bowling O M R W Econ
Matt Henry 6 2 12 0 2.00
Henry Shipley 7 0 31 5 4.43
Daryl Mitchell 3 0 12 2 4.00
Blair Tickner 3.5 0 20 2 5.71



ශ්‍රී ලංකාව ලකුණු 80කට අඩුවෙන් එක්දින තරගයක පිට පිටම දැවී ගිය දෙවැනි අවස්ථාව මෙය වන නිසා ඔවුන්ට මේ ගැන බරපතළ ලෙස සිතා බැලීමට සිදු වෙනවා. මෑතකදී ඉන්දියාව සමඟ පැවති තෙවැනි එක්දින තරගයේදීත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ මුළු ලකුණු 73ක් පමණයි!

තරගාවලි ජයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ජයගත යුතු දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන අඟහරුවාදා (28) Christchurch හිදී ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<