Home Sinhala කිවි වේගය ඉදිරියේ සිංහයෝ පසුබසිති; තරගාවලි ජයත් නවසීලන්තයට!

කිවි වේගය ඉදිරියේ සිංහයෝ පසුබසිති; තරගාවලි ජයත් නවසීලන්තයට!

175

ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගන්නට අද (31) සත්කාරක නවසීලන්තයට හැකි වුනා.

ඒ වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා මෙන්ම පස්වැනි කඩුල්ලට Will Young සහ Henry Nicholls අතරේ ගොඩ නැගුනු නොබිඳුනු ශතක සබඳතාවයේ ආශිර්වාදයෙනුයි.

හැමිල්ටන් හිදී පැවති තෙවැනි එක්දින තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම සූදානම් වී තිබුණේ එක් ක්‍රීඩක වෙනස්කමක් සිදු කරමින්. ඒ අනුව පසුගිය තරගයේ දී අර්ධ ශතකයක් රැස්කළ Finn Allen වෙනුවට Tom Blundell නවසීලන්ත කණ්ඩායමට ඇතුළත් වෙද්දී, ශ්‍රී ලංකාව ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණේ ඩිල්ශාන් මධුශංක වෙනුවටයි.

  • නවසීලන්තය: Tom Latham (නායක), Chad Bowes, Tom Blundell, Will Young, Daryl Mitchel, Glenn Phillips, Rachin Ravindra, Henry Shipley, Matt Henry, Ish Sodhi, Blair Tickner.
  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), නුවනිඳු ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, කසුන් රාජිත, ලහිරු කුමාර.

අද කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානක මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තත්, එම තීරණයට සාධාරණයක් ඉටු කළේ දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක පමණයි. නුවනිඳු සමඟ ඔහුගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 13ක් පමණක් වෙද්දී කුසල් මෙන්ඩිස් තරගාවලිය තුළ දෙවැනි වරටත් ලකුණු නොලබාම දැවී ගියා.

වසර දෙකකට පසු එක්දින කණ්ඩායමට නැවත එක්වූ මැතිව්ස් තම පුනරාගමනය අසාර්ථක කර ගත්තේ 0ට දැවී යමින්. කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගයක දීර්ඝ ඉනිමක් බලාපොරොත්තු වන මෙම විශේෂඥ පිතිකරුවන් තිදෙනාම දැවී ගියේ ස්ලිප් කලාපයේ පන්දු යවන්නන්ට උඩ පන්දු ලබා දෙමිනුයි. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 18ක් පමණක් වුනා.

හතරේ පහර 2ක් සමඟින් ලකුණු 9ක් ලබා සිටි චරිත් අසලංක දැවී යාමට එල්ල කළ පහර ජාත්‍යන්තර තරගයකට උචිත නොවූ අතර පන්දුව ඩීප් මිඩ් විකට් පන්දු රකින්නා සුරැකිව රැක ගත්තා.

පළමු එක්දින තරගය සඳහා නම් නොකිරීම ගැන ප්‍රේක්ෂකයින්ට අතර දැඩි විවේචනයට ලක්වූ ධනංජය ද සිල්වා අද තම කැඳවීමට සාධාරණයක් ඉටු කළේ නැහැ. ඔහු ලකුණු 13කට දැවී ගියේ Daryl Mitchellට දෙවැනි කඩුල්ලත් හිමිකර දෙමින්.

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී පීඩනය මැද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 64කින් ලකුණු 57ක් ලබා ගත්තා. මෙය ඔහුගේ 6 වැනි එක්දින අර්ධ ශතකයයි. නායක දසුන්ගේ වැරදි කැඳවීමක් මත නොතිබූ ලකුණක් කරා දුව යාමට උත්සාහ කළ පැතුම් දැවී යන විට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

කිවියන් අතින් කලාතුරකින් සිදුවන උඩපන්දු අත්හැරීමක් දසුන්ට වාසනාව ගෙනාවත්, එහි උපරිම ප්‍රතිඵල භුක්ති විඳීමට ඔහුට හැකි වුනේ නැහැ. ඒ වැරදි පහර තේරීමක් මගින් ඔහු ලකුණු 31කට දැවී යාම නිසයි. පන්දු 36කට මුහුණ දුන් ශානක හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කළා. ක්‍රීඩා කිරීමට සම්පූර්ණ පන්දුවාර 17ක් ඉතිරිව ඇති අවස්ථාවේ වනිඳු හසරංග සුපුරුදු පරිදි අනවශ්‍ය ප්‍රහාරයකට උත්සාහ කර 0ට දැවී ගියා.

චාමික කරුණාරත්න ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු 24ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 157 දී නතර වුනා.

පන්දු යැවීමේ දී Matt Henry, Henry Shipley සහ Daryl Mitchel කඩුලු 3 බැගින් බිඳ හෙළුවා. ශ්‍රී ලංකා ඉනිමේ සියලු කඩුලු බිඳ වැටෙන විටත් ඔවුන්ට තවත් පන්දුවාර 8.3ක් ඉතිරිව පැවතීම තරගයේ තීරණාත්මක සාධකයක් වුනා.

හැමිල්ටන් තණතිල්ලේ හොඳ ඉපිලීමක් සහ යම් තරමක දෝලනයක් දකින්නට ලැබුනත්, ශ්‍රී ලංකා පිතිකරුවන් පහරවල් තෝරා ගැනීමේ දී දැක්වූ දුර්වලතා මෙම පසුබෑමට ප්‍රබල හේතුවක් වුනා.

ලකුණු 158ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සත්කාරකයින්ට එය සිතූ තරම් පහසු වුනේ නැහැ. ඒ, ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන්ට එල්ල කළ තර්ජනය නිසයි. පැයට කිලෝමීටර් 148ක පමණ වේගයක් රඳවා ගත් ලහිරු කුමාරගෙන් නවසීලන්තයට පළමු රතු එළිය එල්ල වුනේ Chad Bowes තම මුල්ම පන්දුවෙන්ම දවා ගනිමින්.

ඉදිරි පාදයේ ඩ්‍රයිව් පහරකට උත්සාහ කළ Bowesගේ පිත්තේ හොඳින් ගැටුණු පන්දුව කුසල් මෙන්ඩිස්ගේ අත් ආවරණ අතරේ ක්ෂණිකව සැඟව ගියා. ඉන් නොනැවතුනු ලහිරු කුමාර එම පන්දුවාරයේම අවසන් පන්දුවට Tom Blundellව දවා ගත්තා.

එහි දී පිත්තේ යන්තමින් ගැටුණු පන්දුව කඩුලු රකින්නා රැක ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කළත්, අවසන් මොහොතේ එය තෙවැනි විනිසුරුට යොමු කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වාසනාව ගෙන ආවා. තම සගයාට සහයක් වූ කසුන් රාජිත Daryl Mitchellව හොඳින් ඉපිලී ආ පන්දුවක් මගින් දවා ගත්තේ ලකුණු 6කටයි.

දසුන් ශානක විසින් Tom Lathamගේ කඩුල්ල බිඳ දැමීමත් සමඟ නවසීලන්තය ලකුණු 59කට කඩුලු 4ක් දැවී අසරණ වුනේ ශ්‍රී ලංකාවට නැවතත් තරගයට පිවිසීමට අවස්ථාව උදා කරමින්. නමුත් එක් ලකුණක් ලබා සිටි Henry Nicholls කඩුල්ල මුවා කළ බවට විනිසුරු ලබා දුන් තීරණය අභියෝගයට ලක්කළ නවසීලන්තය එය නොදැවීමක් බවට හරවා ගනිමින් පස්වැනි කඩුල්ලට ලකුණු 100ක නොබිඳුනු සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුවා.

පීඩනය මත සාර්ථක ඉනිමක් ගොඩ නැගූ Will Young නොදැවී ලකුණු 86ක් රැස් කළේ පන්දු 113කට මුහුණ දෙමින්. ඔහු හතරේ පහර 11ක් එල්ල කිරීමට සමත් වුනා. Henry Nicholls හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 44යි. මේ නිසා නවසීලන්තය කඩුලු 6කින් තරගය ජය ගත්තේ තවත් පන්දුවාර 17.1ක් ඉතිරිව තිබිය දීයි. තරගයේ වීරයා ලෙස Young සම්මාන ලබද්දී, Henry Shipley තරගාවලියේ වීරයා බවට පත්වුනා.

මේ අනුව ශ්‍රී ලංකාවට 2023 එක්දින ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද අහිමිව යනවා. ඔවුන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්වන දක්ෂතා මත මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉරණම විසඳෙනු ඇති.

Result


New Zealand
159/4 (32.5)

Sri Lanka
157/10 (41.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Henry Nicholls) 57 64 8 1 89.06
Nuwanidu Fernando c Henry Nicholls b Matt Henry 2 9 0 0 22.22
Kusal Mendis c Daryl Mitchell b Matt Henry 0 6 0 0 0.00
Angelo Mathews c Daryl Mitchell b Henry Shipley 0 8 0 0 0.00
Charith Asalanka c Henry Shipley b Daryl Mitchell 9 21 2 0 42.86
Dhananjaya de Silva c Matt Henry b Daryl Mitchell 13 21 2 0 61.90
Dasun Shanaka c Matt Henry b Henry Shipley 31 36 2 2 86.11
Chamika Karunaratne c Matt Henry b Tom Latham 24 42 3 0 57.14
Wanindu Hasaranga c Tom Latham b Daryl Mitchell 0 4 0 0 0.00
Kasun Rajitha b Henry Shipley 9 32 0 0 28.12
Lahiru Kumara not out 0 6 0 0 0.00


Extras 12 (b 0 , lb 4 , nb 0, w 8, pen 0)
Total 157/10 (41.3 Overs, RR: 3.78)
Bowling O M R W Econ
Matt Henry 10 2 14 3 1.40
Henry Shipley 8.3 2 32 3 3.86
Blair Tickner 8 2 35 0 4.38
Daryl Mitchell 7 1 32 3 4.57
Ish Sodhi 8 0 40 0 5.00


Batsmen R B 4s 6s SR
Chad Bowes c Kusal Mendis b Lahiru Kumara 1 5 0 0 20.00
Tom Blundell c Kusal Mendis b Lahiru Kumara 4 3 1 0 133.33
Will Young not out 86 113 11 0 76.11
Daryl Mitchell c Kusal Mendis b Kasun Rajitha 6 8 1 0 75.00
Tom Latham b Dasun Shanaka 8 16 0 0 50.00
Henry Nicholls not out 44 52 5 0 84.62


Extras 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0)
Total 159/4 (32.5 Overs, RR: 4.84)
Bowling O M R W Econ
Kasun Rajitha 9 0 44 1 4.89
Lahiru Kumara 7.4 0 39 2 5.27
Chamika Karunaratne 4.5 0 26 0 5.78
Dasun Shanaka 7.2 1 25 1 3.47
Wanindu Hasaranga 4 0 22 0 5.50



මේ අනුව සංචාරක ශ්‍රී ලංකාවට එරෙහිව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියත්, එක්දින තරගාවලියත් නවසීලන්තය ජයගෙන අවසන් වනවා. දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඇරඹෙනවා. එහි සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<