ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විලාසයට Michael Clarkeගෙන් දෝෂාරෝපණ

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

5926

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන, එමෙන්ම පසුගිය වර ලෝක ශූරයින් බවට ද පත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ඕස්ට්‍රේලියානු නොවන අන්දමේ ක්‍රීඩා රටාවක නිරත වූ බව හිටපු නායක Michael Clarke විසින් පවසනවා.

Aaron Finchගේ නායකත්වය යටතේ මෙවර ලෝක කුසලානයට සහභාගී වූ ඕස්ට්‍රේලියානුවන්ට සුපිරි කණ්ඩායම් 12 වටයෙන් පසු තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුනා.

ඉතා හොඳ ආක්‍රමණශීලී සංචිතයක් තෝරා ගැනීමෙන් පසුවත්, ඔවුන් මෙවර ඕස්ට්‍රේලියානු නොවන (un-Australian) අන්දමින් ක්‍රීඩා කළ බවයි Big Sports Breakfast නම් ගුවන් විදුලි වැඩසටහනට එක් වෙමින් හිටපු ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රකාශ කර සිටියේ.

“ඕස්ට්‍රේලියානුවන් සාමාන්‍යයෙන් ලොකු තරගාවලි වල, විශාල පීඩනයක් යටතේ වෙනසක් කරනවා. අපි පරදින්න බය නැහැ, අපි මෙවර ක්‍රීඩා කරන්න ආකරමණශීලී 11 දෙනෙක්ව තෝරා ගත්තා වුනත් ක්‍රීඩා කළේ ආරක්ෂාකාරීවයි. මෙය ඕස්ට්‍රේලියානුවන්ගේ විදිහ නෙවෙයි.”

එහි දී තවදුරටත් අදහස් දක්වමින් Clarke පවසා සිටියේ අයර්ලන්ත සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් ඉදිරියේ ඔවුන්ට වඩාත් ආක්‍රමණශීලී වීමට තිබූ බවයි.

“අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව භාවිතා කළ හැකිව තිබූ උපායන් ඔවුන් විසින් මග හැරියා, එය මාව කළකිරීමට පත් කළා. මට හිතාගන්න බැරි වුනා මම මොකද්ද බලන්නේ කියලවත්. ඔවුන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලයි මට දැනුනේ.”

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු රැකීම ද තරමක් අලස ස්වභාවයක් පෙන්නුම් කළ බවත්, ඔවුන්ට ඒවා රැක ගැනීමට උනන්දුවක් තිබූ බව තමන්ට නොදැනුනු බවත් Clarke තවදුරටත් පවසා සිටියා.

“මම දන්නවා ඒ වගේ ආකල්ප තියාගෙන ඔබට කවදාවත් කණ්ඩායමක් අතුගාලා දාන්න බැහැ, නමුත් ඔවුන්ට එහෙම වෙන්න තිබුණා.”

“ඔවුන්ට ඇෆ්ගනිස්ථානයට දැනෙන්න කියන්න තිබුණා, ‘අපි ලකුණු 200ක් රැස් කරගෙන ඔබව ලකුණු 100කට දවා ගන්නවා’ කියලා. නමුත් ඔවුන්ගේ ඒ ආක්‍රමණශීලීත්වය තිබුණේ නැහැ. ඔවුන්ට එවැනි කකියන අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවුන් පන්දු රැක්කෙත් තරමක් මන්දගාමී ලෙසිනුයි.”

මෙවර ලෝක කුසාලනයේ සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ 1 කාණ්ඩය නියෝජනය කළ ඕස්‍ට්‍රේලියාව එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමි කරගන්නා විට පිළිවෙලින් ප්‍රථම හා දෙවන ස්ථාන හිමි කරගත් නවසීලන්තය සහ එංගලන්තය අවසන් පූර්ව වටයට තේරී පත්වීමට සමත් වුනා.

එම කණ්ඩාම් දෙක සමඟ 2 කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයේ තරග කිරීමට අවස්ථාව හිමි කරගත්තේ ඉන්දියාව සහ පාකිස්තානය යි. ඔවුන් මෙම මස හෙට (09) සහ අනිද්දා (10) දින දෙකේ දී එම අවසන් පූර්ව වටයේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Indiatoday ඇසුරිනි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<