දක්ෂතා පෙන්වූවත් වාසනාව අහිමි Virat Kohli

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2989

පසුගිය බ්‍රහස්පතින්දා (10) එංගලන්තය හමුවේ ලද පරාජයත් සමඟින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවීමෙන් පසුව සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli සංවේදී twitter සටහනක් තබා තිබෙනවා.

ලැබුණු ප්‍රතිඵලය සිත රිදවන අන්දමේ එකක් නමුත්, තම කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනත් යම් ධනාත්මක දේවල් රැසක් ඔවුන් එහි දී ලබා ගත් බවත් Kohli සිය twitter සටහනේ සඳහන් කර තිබෙනවා.

“අපි ඕස්ට්‍රේලියාවෙන් පිටව යන්නේ අපගේ සිහින සාක්ෂාත් කරගැනීමට නොහැකිව සහ ඒ පිළිබඳ කලකිරීමක් හිත් වල රඳවා ගෙනයි. නමුත් අපට කණ්ඩායමක් ලෙසින් අමතක නොවන අන්දමේ මතකයන් රැසක් ගෙන යා හැකි අතර, මෙතැන් පටන් තවත් හොඳ වීමට ඉලක්ක කළ හැකිය.

අපිට සහය පල කරන්න ක්‍රීඩාංගණ වෙත පැමිණි රසිකයින් හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. මේ ජර්සිය ඇඳගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන හැමවිටම ආඩම්බර වෙනවා.”

අර්ධ ශතක හතරක් සහ සාමාන්‍ය 98.66ක් ලෙස රඳා තබා ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු (296) රැස් කිරීමට සමත් වූ Kohli, මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වනවා.

ලෝක කුසලානය හිමි කර ගැනීමට අවස්ථාව නොලැබුනත්, පසුගිය ආසියානු කුසලානයෙන් පසුව නැවත සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමට සමත් වෙමින් මෙවර තරගාවලියේ ඉනිම හයක දී අර්ධ ශතක හතරක් ලබා ගැනීමට හැකි වීම පිළිබඳව Kohli ට පෞද්ගලිකව සෑහීමටකට පත් වීමට හැකියාවක් තිබෙනවා.

මේ අතර මෙය Kohliගේ සිව්වැනි අවසන් පූර්ව තරග පරාජය ද වනවා. (මීට පෙර 2015, 2019 එක්දින ලෝක කුසලානවල දී සහ 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී). ඒ අතරින් 2019 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී තියුණු අවසානයකින් පසුව නවසිලන්තය හමුවේ පරාජය වන්නේ Virat Kohli ගේම නායකත්වය යටතේ දීයි.

2011 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට උර දුන් Kohli, ඉන්පසුව 2013 ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට ද දායක වුනා. ඊට අමතරව ඔහුට ICC තරගාවලි පිළිබඳ ඇත්තේ අමිහිරි මතකවලින් පිරි මතක ගබඩාවක්. එම තරගාවලි වල කෙතරම් දක්ෂතා අතර සිටියත් ඔහුට අවසන් කඩඉම් පනින්නට වාසනාවක් හිමි වුනේ නැහැ.

2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ද තරගාවලියේ වැඩිම ලකුණු (319) හිමි කර ගනිමින් තරගාවලියේ වීරයා බවට පත් වීමට Kohli  සමත් වුවද, එහි දී ද අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය උරුම කර ගන්නට ඔහුට සිදු වුනා.

2015 එක්දින ලෝක කුසලානයේ දී ද ඉන්දියාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 305ක් රැස් කිරීමට Kohli සමත් වුනේ පාකිස්තානයට එරෙහිව රැස් කළ ශතකයක් ද සමඟයි. නමුත් එහි දී ද අවසන් පූර්ව වටයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය උරුම කර ගැනීමට ඔහුට සිදු වුනා.

නැවත 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ද තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා (273) වීමට Kohli සමත් වුනේ ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත් කළ ලකුණු 82ක අග්‍රගණ්‍ය ඉනිමක මතකය ද සමඟිනුයි.

නමුත් එම තරගාවලියේදී ද අවසන් පූර්ව වටයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජය වෙමින් විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගැනීමට Kohliට තිබූ හොඳම අවස්ථාව මග හැරී ගියා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<