ත්‍රිත්ව විද්‍යාලය අවසන් තරගයට

U 19 Division 1 Tier A Inter-Schools Limited Overs Tournament

228

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.  

මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (19) පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම අවස්ථාව උදා කර ගත්තා.  

ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම: මනුල කුලරත්න (නායක), විදුක ධම්මගේ, වතිල උදාර, සුපුන් වඩුගේ, දිනූෂ පීරිස් (කඩුලු රකින්නා), ජනිත් රවිශ්ක, ජයවි ලියනගම, දිනුක තෙන්නකෝන්, තරණ විමලධර්ම, රජිඳු තිලකරත්න, මලිත් රත්නායක. 

රාජකීය විද්‍යාලයීය කණ්ඩායම: සිනෙත් ජයව්ධන (නායක), රෙහාන් පීරිස්, ඔවින අඹන්පොළ, රමිරු පෙරේරා, බුලන් වීරතුංග, රනුක මලවිආරච්චි, අනුෂ් පොලොනෝවිට, උදන්ත ගංගෙවත්ත, නෙත්වින් ධර්මරත්න, තමෝද් යශෝද්‍ය, දිනුර සේනාරත්න. 

කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත් අතර ඊට එරෙහිව හඹා යන ඉනිමේ දී පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 2ක් දැවී ලකුණු 80ක් පමණයි. 

ඒ වෙද්දී පන්දුවාර 20ක් ද අවසන් ව තිබූ බැවින් තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තීරණය කෙරුණා. ඒ අනුව වූ ගණනය කිරීමේ දී රාජකීය විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 2ක් අහිමි ව තිබිය දී ලකුණු 90ක් අවශ්‍ය තිබුණා. එකී අවශ්‍යතාව සපුරා නොතිබූ බැවින් තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලය සතු වූවා.   

ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් කැපී පෙණෙන ඉනිමක නිතර වූයේ වමත් පිතිකරු සුපුන් වඩුගේ. ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා. ඉන් නොනැවතුන ඔහු දකුණ් පිතිකරු, නායක මනුල කුලරත්න සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ද එක් කළා. 

මනුල කුලරත්න පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ත්‍රිත්ව ඉනිමේ කැපී පෙණෙන පිතිකරුවන් වූයේ ඉනිම ආරම්භ කළ විදුක ධම්මගේ සහ වතිල උදාර. විදුක ධම්මගේ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගනිද්දී වතිල උදාර පන්දු 15ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු සංඛ්‍යාව 31ක්.  

කඩුලු ලබා ගැනීමේ දී නායක සිනෙත් ජයවර්ධන ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව රනුක මලවිආරච්චි සහ රමිරු පෙරේරා කඩුලු 2 බැගින් ද සහ බූලාන් වීරතුංග කඩුල්ලක් ද ලබා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ත්‍රිත්ව පන්දු යවන්නන්ට අමතර ව අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ද සටන් කිරීමට සිදු වූවා. කෙසේ වෙතත් අවසානයේ දී ඔවුන්ට අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හිස නමන්නට සිදූ වූවා. ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 80ක් පමණයි.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. 

අනෙක් ආරම්භක පිතිකරු නායක සිනෙත් ජයවර්ධන පන්දු 6ක් තුළ තම ඉනිම කිසිදු ලකුණක් නොලබා අහිමි කර ගනිද්දී ඔවින අඹන්පොල සමඟ එක් වූ රෙහාන් පීරිස් රාජකීය ඉනිමේ 2 වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් එක් කළා.  

ඔවින අඹන්පොල පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට හසු වෙමින් තම ඉනිම නිමා කර ගත්තා.  

තරගය නතර කරන විට රෙහාන් පීරිස් සමඟ ලකුණු 2ක් ලබා සිටි රමිරු පෙරේරා නොදැවී පිටියේ රැදී සිටියා.  

කඩුලු ලබා ගැනීමේ දී තරණ විමලධර්මට කඩුල්ලක් හිමි වූවා.   

2 වැනි අර්ධ අවසන් තරගය, මග්ගොන, නොවැම්බර් 19, 2023, U19 Division 1 Tier A Inter-Schools Limited Overs Tournament

  • ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන 
  • කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය 

ත්‍රිත්ව විද්‍යාලය – සියලුම දෙනා දැවී 236 (49.2) වතිල උදාර 19, සුපුන් වඩුගේ 101, මනුල කුලරත්න 51, සිනෙත් ජයවර්ධන 3/34, රනුක මලවිආරච්චි 2/43, රමිරු පෙරේරා 2/37 

රාජකිය විද්‍යාලය – කඩුලු 2ක් දැවී 80 (20) රෙහාන් පීරිස් නොදැවී 41, ඔවින අඹන්පොළ 30, තරණ විමලධර්ම 1/10 

ත්‍රිත්ව විද්‍යාලයට ඩක්වර්ත ලුවිස් න්‍යාය මත ලකුණු 10ක ජයක්. 

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබා ඇති අතර එම තරගය හෙට (21) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<