අවසන් මහා තරගයට වැස්ස බාධාවක් වෙයි ද?

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

289

විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සහ පාකිස්තානය අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත මෙල්බර්න් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට හෙට (13) දිනයේ දී වර්ෂාව ඇති වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව වාර්තා වෙනවා.

නමුත් එම තත්වයන් ඉතා ඉක්මණින් වෙනස් වීමට ඉඩ ඇති බැවින් කණ්ඩායම් දෙකම තරගයට ඇති අවධානය නොවෙනස්ව පවත්වා ගන්නා බවයි කණ්ඩායම් නායකයින් විසින් පවසා ඇත්තේ.

1992 වර්ශයේ දී ද මීට පෙර එංගලන්තය සහ පාකිස්තානය අතර ලෝක කුසලාන අවසන් මහා තරගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ම පැවැත්වුණා. එම තරගය පැවැත්වුන කාලයේ දී නවසීලන්ත සංගීත කණ්ඩායමක් වන Crowded House විසින් ඔවුන්ගේ අතිශයින්ම ප්‍රසිද්ධ වූ Four Seasons in One Day ගීතය නිකුත් කළ අතර එම ගීතයේ මගින් මෙල්බර්න් හි අවිනිශ්චිත කාලගුණය පිළිබඳව විස්තර කරනවා.

ඊට වසර 30කට පසුව මෙල්බර්න් හිදී ම මුණ ගැසෙන මෙම කණ්ඩායම් දෙකට එම ගීතය මගින් නිතර වෙනස් වන මෙල්බර්න් හි කාලගුණය පිළිබඳ හොඳ පාඩමක් ඉගෙන ගත හැකි බව ESPNcricinfo වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

“ගිගිරුම් සහිත තද වැසි ඇති වීමට ඉඩ ඇත” යනුවෙන් හෙට දිනයේ මිලිමීටර 10-20ක පමණ වර්ෂාපතනයක් ඇති වීමට 100%ක ඉඩක් පවතින බව සහතික කරමින් ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් සිය කාලගුණ නිවේදනය නිකුත් කර ඇති බව සටහන් කරමිනුයි වෙබ් අඩවිය විසින් ඉහත ගීතය පිළිබඳ මතකය නැවතත් අලුත් කරන්නේ.

එමෙන්ම මෙල්බර්න් හි කාලගුණය පිළිබඳ කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි බව මීට පෙර මෙම තරගාවලියේ දීම තහවුරු වුනු අවස්ථා ද පවතියි. ඒ අතර එංගලන්ත කණ්ඩායම විසින් අයර්ලන්තය සමඟ පැවති තරගයට පෙර නිකුත් කළ කාලගුණ අනාවැකි වලට වැඩි අවධානයක් ලබා දීමට ගොස් අයර්ලන්තය හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමකට පවා මුහුණ දීමට සිදුවීම විශේෂයෙන්ම සඳහන් කළ හැකි සිදුවීමක්.

“ඇත්තටම අයර්ලන්තය සමඟ තරගය මේ තරගාවලියේ අපේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන්වුනු අවස්ථාවක්. නමුත් ඒක වෙලා දැන් ගොඩක් කල් ගත වෙලා. ලෝක කුසලානය අවසාන වෙද්දී මේ වගේ තැනක වාඩිවෙලා ඉන්න ලැබීමත් සමඟ අපි මේ තරගාවලිය පුරාවටම බොහෝ දේවල් ඉගෙන ගත්තා.”

“තරගාවලිය පුරාවටම වර්ෂාව නිසා මෙල්බර්න් වල පැවැත්වීමට නියමිතව තිබුණු තරගවලට වැස්සෙන් බාධා සිදුවුනා.”

එංගලන්ත නායක Jos Buttler විසින් අද (12) පැවති මාධ්‍ය හමුවක දී එලෙස පසුගිය තරග මෙන්ම, මෙල්බර්න් හි කාලගුණය පිළිබඳවත් සිය අදහස් ප්‍රකාශ කළා.

කාලගුණ අනාවැකි වලින් අවධානය බිඳ ගැනීමෙන් මෙන්ම, වර්ෂාව ඇද හැලීමට පෙර DLS න්‍යාය අනුව අයර්ලන්තයට වඩා ලකුණු පහක් පිටුපසින් සිටි අවස්ථාවේ දීත් ඔවුන් එයට අවධානය යොමු නොකළ බව ද ඔහු එහි දී පිළිගෙන තිබුණා.

“අපි දන්නවා අපෙන් වුනු අඩු පාඩු, ඒක අපිව රිදෙව්වා. මම හිතන්නේ අපි ක්‍රීඩා කරපු අනිත් තරගවලින් ඒ වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වන්න අපට පුළුවන් වුනා.”

පාකිස්තාන කණ්ඩායමට ද මෙල්බර්න් හි කාලගුණය පිළිබඳ ඉතා හොඳ අත්දැකීමක් පවතින අතර ඉන්දියාව සමඟ ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරගය වර්ෂාවෙන් හේදී යාමට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශයෙන් පුරෝකථනය කළ ද එදින එකඳු වැහි බිඳක් හෝ නොවැටුනු අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ විශිෂ්ටතම තරගවලින් එකකට සහභාගී වීමට ද ඔවුනට හැකි වුනා.

පාකිස්තානය විසින් ඉන්දියාව සමඟ තරගයට පෙර පැවසූ කාලගුණ අනාවැකියෙන් අවධානය වෙනස් කරනොගත්තත් තරගයේ අවසන් පන්දු අට තුළ දී ඉන්දියාව හමුවේ නොතිබූ පරාජයක් හිමි කරගැනීමට ඔවුන්ට සිදුවුනා.

මෙවරත් ඔවුන් අවසන් මහා තරගයට පෙර නිකුත් කළ කාලගුණ අනාවැකිය පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ.

“අපි කාලගුණ තත්වයන් ගැන කතාබහ කළා. නමුත් ඒවා ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි අවධානය දෙන්නේ සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කිරීම ගැනයි. මෙය ලෝක කුසලාන අවසාන මහා තරගයක්, එවැනි තරගයක අර්ධයක් ක්‍රීඩා කරන්න ලැබෙනවා කියන්නේ අභාග්‍යයක්. ඒ නිසා සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කිරීමටයි අපි අවධානය දෙන්නේ.”

හෙට තරගය පිළිබඳ අදහස් දැක්වූ පාකිස්තාන නායක Babar Azam එසේ පවසා සිටියා.

කෙසේ වෙතත් පාකිස්තානයේ මෙම උපක්‍රමශීලී මානසිකත්වය ඔවුන්ව හෙට තරගය වෙනුවෙන් ශක්තිමත් කරනු ඇත. ඒ අතරම වර්ෂාව නිසා බාධාවට හසු වූ තරග ක්‍රීඩා කිරීමේ අත්දැකීම් මගින් එංගලන්තය ද ශක්තිමත් වනු ඇත.

ESPN cricinfo ඇසුරිනි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<