ඉන්දීය නායකයා විසින් තරග පරාජයේ වගකීම පන්දු යවන්නන්ගේ ගිණුමට බැර කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2510

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස පැවති එංගලන්තය සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු දහයක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුනා. තරගයෙන් අනතුරුව තරගයේ පරාජයට හේතුව තම කණ්ඩායම හොඳින් පන්දු යැවීමට අසමත් වීම බව ඉන්දීය නායකයා විසින් ප්‍රකාශ කළා.

ඉන්දියාවට එරෙහිව ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය තවත් පන්දු 24ක් ඉතිරිව තිබිය දී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒ වන විටත් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Alex Hales (86*) සහ Jos Buttler (80*) නොදැවී පිටියේ රැඳී සිටියා.

“මම හිතන්නේ ඉනිමේ අවසාන භාගයේ දී ඒ වගේ ලකුණු ප්‍රමාණයකට යන්න තරම් හොඳ පිතිකරණයක අපි යෙදුනා. නමුත් අපි පන්දු යැවීමේ දී ඒ තරම් හොඳින් කළේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම කණ්ඩායමකට ඇවිත් පන්දුවාර 16-17කින් හඹා යන්න (ඉන්දියාව ලබා දුන් ඉලක්කය) පුළුවන් තණතීරුවක් නෙවෙයි.” 

“නමුත්, ඔව්. මෙහෙම දේවල් වෙනවා. මම කලින් කිව්වා වගේ අපි පන්දුවෙන් හොඳ දේවල් කරන්න සමත් වුනේ නැහැ.”

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි ඉන්දීය නායකයා එසේ පවසා සිටියා.

Bhuvneshwar Kumar විසින් යැවූ එංගලන්ත ඉනිමේ ආරම්භක පන්දු තුනෙන් දෙකකටම Buttler විසින් හතරේ පහර දෙකක් එල්ල කරමින් එංගලන්ත ඉනිමට ලබා දුන් තල්ලුවෙන් පසුව ඇඩිලේඩ් ඕවල් පිටියේ හතරේ සීමාව වෙත පන්දුව ඇදී යාම (විශේෂයෙන්ම කෙටි දුරක් සහිත හතරේ සීමාවන් වෙත) නතර කිරීමට ඉන්දීය පන්දු රකින්නන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුනා.

ඉන්දීය ඉනිමේ පන්දුවාර 15ක් වන විට දීත් ඔවුන් රැස් කරගෙන සිටියේ ලකුණු 100ක් පමණයි. නමුත් ඉන්පසුව Hardik Pandya විසින් දියත් කළ ප්‍රවේගකාරී පිති ප්‍රහාරය සමඟින් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඔවුන්ට හැකියාව ලැබුණා.

ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාර 15 තුළ දී විකට්ටුව හරහා (square of the wicket) (backward point, covers, forward square leg සහ backward square leg) පන්දු 46කින් රැස් කරගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 64ක් පමණක් වන අතර එංගලන්තය විසින් සිය පළමු පන්දුවාර 15 තුළ පන්දු 54කින් ලකුණු 98ක් රැස් කිරීමට සමත් වුනා.

ඉන්දීය පිතිකරුවන් ක්‍රීඩාංගණයේ කෙටි හතරේ සීමාවන් හරහා පන්දුව යොමු කරමින් ලකුණු රැස් කරගැනීමට අපොහොසත් වීම හෝ ඉන්දීය පන්දු යවන්නන් විසින් නියමිත තැන් වල (lines and lengths) පන්දුව පතිත කර නොමැති වීම හෝ නැතිනම් මේ දෙකම එයට හේතුව විය හැක.

එමෙන්ම තම පන්දු යවන්නන් එංගලන්තයට නිදහසේ පිතිකරණයේ යෙදීමට අවශ්‍ය තරම් ඉඩ ලබා දුන් බවත් ඉන්දීය නායකයා විසින් පවසනවා.

“මම හිතන්නේ Bhuvi එයාගේ පළවෙනි පන්දුවාරය යවද්දී පන්දුව ටිකක් දෝලනය වුනා. නමුත් හරි තැන් වල පන්දුව පතිත වුනේ නැහැ. අපිට අවශ්‍ය වුනා ඔවුන්ට ඉඩ නොදී හිර කරලා තියාගන්න.” 

“අපි ඇඩිලේඩ් ඕවල් පිටිය ගැන හොඳින් බැලුවා. අපි දන්නවා කොහෙන්ද ලකුණු රැස් කරන්න පුළුවන් කියලා. ඒ තැන් වලින්මයි ඔවුන් අද ලකුණු ලබා ගත්තේ. පිතිකරුවන් හොඳ පහර වලට යද්දී ඔවුන්ව හිර කරලා තබා ගැනීම තමයි අපි කතා කරගෙන හිටපු දේ. නමුත් ඒකමයි අද නොවුනෙත්. ඒ ගැන පොඩි කලකිරීමක් තියෙනවා.”

මේ අනුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිවල දී අවසන් වරට සහභාගී වූ අවසන් පූර්ව තරග හතරෙන්ම (2015 සහ 2019 එක්දින ලෝක කුසලාන, 2016 සහ 2022 විස්සයි විස්ස ලෝක කුසලාන) පරාජය වුනා.

මෙවැනි තරගයක පීඩනය හසුරුවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින්ට අත්දැකීම් තිබුණත් මේ අවස්ථාවේ දී ඔවුන් තරමක් චකිතයට පත් වූ බව Rohit පවසා සිටියා.

“පිළිමළුන් පිටුදැකීමේ තරගවල දී පීඩනය හසුරුවා ගැනීම තමයි වැදගත්ම දේ. ඒක ක්‍රීඩකයා මත රඳා පවතින දෙයක්. ඔබට බැහැ ගිහින් පීඩනය හසුරුවා ගන්න විදිහ කියලා දෙන්න. මේ හැම ක්‍රීඩකයෙක්ම ඒ ගැන තේරුම් ගන්න අවශ්‍ය තරම් ක්‍රිකට් ක්‍රීඩා කරපු අය.” 

“බලන්න, මම කියන්නේ ගොඩක් අය IPL වල playoffs තරග ක්‍රීඩා කරපු අය. ඒක ගොඩක් පීඩනය වැඩි තරගයක්. මෙතන ඉන්න සමහර අයට ඒක හසුරුවා ගන්න පුළුවන්.”

“මම හිතන්නේ අපි පන්දු යැවීම ආරම්භ කළේ නියම විදිහට නෙවෙයි. අපි එතන දී ටිකක් කලබල වුනා. ඒ වගේම ඔවුන්ගේ ආරම්භ පිතිකරුවන්වත් අගය කළ යුතුයි. ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළා.”

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – 168/6 (20): Hardik Pandya 63, Virat Kohli 50; Chris Jordan 3-43.
  • එංගලන්තය – 170/0 (16): Alex Hales 86*, Jos Buttler 80*

ESPNcricinfo ඇසුරිනි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<