“ලක්මාල්, කුමාර සුවෙන්, දිමුත් ගැන විශ්වාසයක් නැහැ” – ප්‍රධාන පුහුණුකරු

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

208
Dimuth Karunarathne

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට හැකි බව වාර්තා වේ. ඒ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඊයේ (19) තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන මේ තරගාවලියේ පළමු තරගය කඩුලු 7කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුණු අතර ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම තුල දී දැඩි පසුබෑමකට ලක්වීමයි.

තවත් ක්‍රිකට් පුවත්:

“දිමුත් කරුණාරත්නගේ ආබාධය තවමත් සුව අතට හැරිලා නැති බවක් තමයි අපිට දැනට පෙන්න තිබෙන්නේ, නිමාවුණු දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී තමයි ඔහුගේ මහපට ඇඟිල්ලේ බෝලයක් වැදුණු නිසා මේ අනපේක්ෂිත ආබාධයට ලක්වුණේ. ඒක නිසා ඔහුට පළමු තරගයට ක්‍රීඩා කරන්නත් බැරි වුනා. දැනට තිබෙන විදිහට ඔහුට දෙවැනි ටෙස්ට් තරගයත් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි ද කියලා මට විශ්වාසයක් නැහැ” යැයි මිකී ආතර් පැවසීය.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් අතර දැඩි කතාබහකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් හට මේ තරගය තුල ද වැඩි ලකුණු අතරට එමට නොහැකි වුනු නමුත් නොකඩවා ලකුණු නොලබා දැවී යාම් හතරක් ලබාගෙන සිටි මෙන්ඩිස් හට ඉන් මිදීමට මෙහි දී අවස්ථාවක් ලැබුණි. ඒ දෙවැනි ඉනිමේ දී ලකුණු 15ක් ලබා ගැනීමට මෙන්ඩිස්ට අවස්ථාව ලැබුණු නිසයි.

“අපි දන්නවා කුසල් මෙන්ඩිස් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්, කුසල් මෙන්ඩිස්ව පළමු තරගයේ දී විවේක ගන්වන්න ලොකු ඉඩක් තිබුණා. මොකද ඔහු ඉනිම තුනක් එකදිගට අසාර්ථක වෙලා තමයි මේ තරගාවලියට ආවේ. ඔහුව අපිට සංචිතයෙන් හලන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඔහු අපිත් එක්ක ඉඳලා පුහුණුවීම් කරන්න ඕනේ. හැබැයි දිමුත්ගේ ආබාධය නිසා මෙන්ඩිස්ව අපිට මේ තරගයේ දී ක්‍රීඩා කරවන්න වුනා. හැබැයි අපි මෙන්ඩිස්ට පොඩි විවේකයක් දෙන්න ඕනේ දැන්. ඉදිරි දින දෙක ඇතුළත අපි කණ්ඩායමක් විදිහට කතාබහ කරලා මෙන්ඩිස් ගැන අන්තිම තීරණයක් ගන්නවා.”

කෙසේ නමුත් එංගලන්ත තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තුල තවත් දක්ෂ මැදපෙළ පිතිකරුවන් කිහිපදෙනෙක්ම සිටින නමුත් රොෂේන් සිල්වා හෝ ඕෂද ප්‍රනාන්දු හට දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වේ.

යම් හෙයකින් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරන්නේ නම් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ද එක්වූ ඕෂද ප්‍රනාන්දු අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර ඔහුගේ ආබාධය මේ වන විට සුව වී තිබෙන බව ද දැන ගන්නට ලැබේ. දැනට ජාත්‍යන්තර ටෙස්ට් තරග 6ක ඉනිම් 11ක් ක්‍රීඩා කර තිබෙන ඕෂද එහි දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ මුළු ලකුණු 393ක් ලබාගෙන තිබෙන නමුත් ඔහු තවමත් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගය ක්‍රීඩා කර නොමැත.

දැනට එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකක ඉනිම් 4ක් ක්‍රීඩා කර තිබෙන රොෂේන් සිල්වා එහි දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 190ක් ලබාගෙන තිබෙන අතර ඔහු 2019 වසරේ ආරම්භයේ දී පැවති ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී සාර්ථක වීමත් සමඟම නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් වී සිටීමට ඔහුට සිදු වුවත් ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තුල පැවති තරගවල දී ලකුණු අතරට පිවිස තිබේ. නමුත් රොෂේන් සිල්වා ක්‍රීඩා කරන්නේ නම් ඔහු අංක 5 හෝ 6 ක්‍රීඩා කළ යුතුව තිබෙන්නේ ඔහු අංක තුන ස්ථානයේ එතරම්ම ක්‍රීඩා කර නොමැති නිසයි.

“දසුන් ශානක සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයින් දෙදෙනා අපිට ඉන්න තවත් දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක්. ඔවුන්ට පිතිකරණයේ නිරත වෙන්නත් හැකියාව තිබෙනවා. එක්දින සහ විස්සයි විස්ස තරග රටාවන් දෙක තුල ඉන්නම ඕනේ ක්‍රීඩකයින් දෙදෙනෙක් තමයි ඒ දෙන්නා. හැබැයි සුදු පන්දුවේ ඉඳන් රතු පන්දුවට එනකොට ඉවසීම, තරගය පාලනය කිරීමට තිබෙන හැකියාව, පන්දුව එක තැනක දාගෙන ඉන්න පුළුවන් වෙන එක, දිගු ඉනිම් ගොඩනංවන එක වෙන්නම ඕනේ. ඒක මම ඔවුන් දෙදෙනාගෙන් තාම වැඩිය දැකලා නැහැ” ආතර් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

“ශානකව අපි පළමු තරගය ක්‍රීඩා කළේ අතිරේක වේගපන්දු යවන පිතිකරුවෙක් විදිහට. මැතිව්ස් ක්‍රීඩා කරන්නේ පිතිකරුවෙක් විදිහට විතරයි. මේ තණතීරුවේ විදිහට දඟපන්දු යවන්නන් තුන්දෙනෙක් හිටියොත් අපිට කඩුලු 20 දවාගන්න පහසුවෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි සුරංග ලක්මාල් සහ ලහිරු කුමාර ආබාධවලින් දැන් සුවවෙලා ඉන්නේ. ඔවුන් දෙදෙනා දෙවන ටෙස්ට් තරගයේ ක්‍රීඩකයින් 11 තෝරනකොට ඒ තේරීම්වලට ඉන්නවා.”

යම් හෙයකින් දසුන් ශානක දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා නොකරන්නේ නම් සුරංග ලක්මාල් එම ස්ථානය ගැනීමට වැඩි ඉඩක් තිබෙන අතර ඔහු දැනට ශ්‍රී ලංකා සංචිතයේ සිටින අත්දැකීම් වැඩිම වේගපන්දු යවන්නා ද වේ. ජාත්‍යන්තර ටෙස්ට් තරග 61ක් සඳහා ක්‍රීඩා කර තිබෙන සුරංග එහි දී ටෙස්ට් කඩුලු 151ක් දවාගෙන තිබෙන්නේ එංගලන්තය එරෙහිව ද ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කරමිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<