ලහිරු කුමාර ලෝක කුසලානයෙන් ඉවතට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

3124

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ තරගයට පෙර පැවති පුහුණු සැසියේ දී ආබාධයකට ලක් ව තිබෙනවා.

පුහුණු සැසියේ දී පන්දුවාර කිහිපයක් යොමු කිරීමෙන් පසුව ඔහුව MRI පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙන අතර එයින් තහවුරු වී ඇත්තේ ඔහුට සති දෙකක පමණ කාලයක් පිටියෙන් ඉවත් වීමට සිදු වන බවයි.

ඒ අනුව ඔහුට ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වන අතර තරගාවලි තාක්ෂණික කමිටුවේ අවසරය හිමි වූ පසු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක් වූ චමීර කණ්ඩායමට කැඳවීමට නියමිත බව ද වාර්තා වෙනවා.

ලහිරු කුමාර නිමා වූ එංගලන්ත තරගයේ දී තරගයේ වීරයා සම්මානය දින ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම වූ ජයග්‍රහණයක් ලබා දීමට සමත් වූ අතර එම තරගයේ දී ඔහු ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව මෙවර තරගාවලියේ ආබාධ නිසා කණ්ඩායමෙන් ඉවත් වන තෙවැනි ක්‍රීඩකයා ලහිරු කුමාර වන අතර ඔහුට පෙර නායක දසුන් ශානක සහ මතීෂ පතිරණට ආබාධ නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ මේ දක්වා තරග පහකට සහභාගී වී තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙන අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය හෙට (30) ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<