ඩයලෝග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ දෙවන සතියේ තවත් එක් වැදගත් තරගයක්, කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේදී පැවැතියේ රිනවුන් ක්‍රීඩා සමාජය හා නිව් යංග්ස් පාපන්දු සමාජය අතරයි. මෙම තරඟයෙන් ගෝල 2-1 ලෙස ජයග්‍රහණය ලබා ගන්නට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය ලිපි: කොළඹ ක්‍රීඩකයින්ගෙන් සොලිඩ් කණ්ඩායමට දරුණු ප්‍රහාරයක්

රිනවුන් සමාජයේ පළමු පා පහරත් සමඟින් ආරම්භ වූ මෙම තරගයේ දී ආරම්භක මොහොතේදීම රිනවුන් සමාජයේ මොහොමඩ් රිස්නිට ගෝලයක් ලබා ගැනීමට ඉඩකඩ තිබුණද එය සාර්ථක කරගැනීමට ඔහුට නොහැකි විය.

තරගයේ 15වන මිනිත්තුවේදී නිව් යංග්ස් සමාජය වෙනුවෙන් ක්‍රියාත්මක වූ හසිත ප්‍රියංකර, හකීම් කමිල් මඟ හරවාගෙන පළමු ගෝලය තම නාමය ඉදිරියෙන් සටහන් කරගත්තේය.

රිනවුන් සමාජයේ මොහොමඩ් උස්මාන් 17වන මිනිත්තුවේදී අාබාධයකට ලක්වූ නිසා ඒ වෙනුවෙන් ධනුෂ්ක රාජපක්ෂ ආදේශ කරවිය.

25 වන මිනිත්තුවේදී දෙපිලේම ක්‍රීඩකයින් වන තිලංක ප්‍රියදර්ශන හා මොහොමඩ් ෆසාල්ට විනිසුරුතුමා කහ කාඩ්පත් දෙකක් නිකුත් කලේය.

30වන මිනිත්තුවේදී ගෝල සමාන කරගැනීමට අවස්ථාවක් උදාකර දෙමින් රිනවුන් ක්‍රීඩා සමාජයට දඩුවම් පහර අවස්ථාවක් හිමිවුවද, රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල්ට එය සාර්ථක කරගැනීමට නොහැකි විය.

39 වන මිනිත්තුවේදී රිනවුන් පුහුණුකරු විසින් රිසින් වෙනුවට හනිෆ් මොහොමඩ්ව පිටියට කැඳවන ලදි. තරගයේ 44 වන මිනිත්තුවේදී මයිකල් හට රිනවුන් සමාජය වෙනුවෙන් ලබා ගැනීමට තිබූ අලංකාරවත් ගෝල අවස්ථාවක් ගිලිහෙන ලදි. ඉන් මොහොතකට පසුව රිනවුන් සමාජයේ මොහොමඩ් රස්කාන් හට කහ කාඩ්පතක් නිකුත් කලේය.

පළමු අර්ධය අවසානයේ දී – රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 නිව් යංග්ස් පාපන්දු සමාජය

තරගයේ 52වන මිනිත්තුවේදී නැවතත් ‍ගෝලයකට මාන බලමින් සිටි මයිකල්ගේ උත්සාහය සාර්ථක කරවමින් තරඟයේ ලකුණු සම මට්ටමකට ගෙන එන ලදි. රිනවුන් සමාජය තම අවසන් වෙනස් කිරීම සිදු කරමින් හකීම් වෙනුවට මොහොමඩ් ෆර්හාන් පිටියට අවතීර්ණ කරවිය.

65 වන මිනිත්තුවේදී පාපන්දු තරගයක විය හැකි අවාසනාවන්තම සිදුවීමක් වන තම කණ්ඩායමේම දැල වෙත පන්දුව එල්ල කිරීම යන වරද නිව් යංග්ස් පාපන්දු සමාජයේ අවිශ්ක පෙරේරා අතින් සිදුවිය.

සුපුන් කවීෂ දක්ෂ ලෙස ගෝල ආවරණය කරමින් රිනවුන් සමාජයට ලබා ගැනීමට තිබූ ගෝල අවස්ථාවන් කිහිපයක්ම අසාර්ථක කරවිය.

තරඟය අවසානයේ දී – රිනවුන් ක්‍රීඩා සමාජය 02 – 01 නිව් යංග්ස් පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා – සුපුන් කවීෂ (නිව් යංග්ස් පාපන්දු සමාජය)

ගෝල ලබාගැනීම්

  • රිනවුන් ක්‍රීඩා සමාජය – ජොබ් මයිකල් 52’ , අවිශ්ක පෙරේරා (own goal) 65’
  • නිව් යංග්ස් පාපන්දු සමාජය – හසිත ප්‍රියන්කර 13’

කහ කාඩ්පත්

  • රිනවුන් ක්‍රීඩා සමාජය – මොහොමඩ් ෆසාල් 24’, මොහොමඩ් රිස්කාන් 45’
  • නිව් යංග්ස් පාපන්දු සමාජය – තිලංක ප්‍රියදර්ශන 24’, සුපුන් ලක්රුවන් 45’

තරඟයෙන් පසුව ThePapare.com වෙත දෙපිලේම පුහුණුකරුවන් අදහස් දක්වමින් පවසා සිටියේ,

රිනවුන් ක්‍රීඩා සමාජ පුහුණුකරු – මොහොමඩ් එමනල්

“ ක්‍රීඩකයින් ක්‍රීඩා කලේ මාස 4 කට පමණ පසුව වන අතර යම් මට්ටමකට අප පාපන්දු වලිට ඇති සබඳතාවන් දුරස් විය. උණුසුම් කාලගුණික තත්ත්වය අපට හොඳ රැකුලක් වූ අතරම, දෙවන අර්ධයේ දී අප යම් සැලැස්මකට අනුව ක්‍රීඩා කර ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා”

නිව් යංග්ස් පුහුණුකරු – රෝහිත ප්‍රනාන්දු

“අපේ දක්ෂ ක්‍රීඩකයින් සිව්දෙනෙකු නොමැතිව අප මෙම තරගයේ ක්‍රීඩා කල නිසා, අත්දැකීම් අවම ක්‍රීඩකයින් මෙම තරඟයේදී ක්‍රීඩා කලා. පළමු අර්ධය ඉතා සාර්ථකව ක්‍රීඩා කිරීමට අප සමත් වුවත්, දෙවන අර්ධයේ දී අපට අතපසුවීම් කිහිපයක්ම සිදුවුනා. නමුත් අපේ කණ්ඩායම පිළිබඳව මම තෘප්තිමත් වෙනවා.

නිව් යංග්ස් පාපන්දු සමාජය සොලිඩ් ක්‍රීඩා සමාජය සමඟින් ද, රිනවුන් ක්‍රීඩා සමාජය යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟින් ද තෙවන සතියේ දී තරඟ බිමට පිවිසීමට නියමිතව ඇත.

  තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට