පරාජිතයන් අතර හොඳම පරාජිතයන් වූ හැටි

792

එක්දින ජාත්‍යන්තර තරග අතර වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත් රට ලෙසින් ශ්‍රී ලංකාව පසුගිය දා වාර්තා පොත් අතරට එක් වුණා. ඒ නිමා වූ එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලයත් සමඟින්.

Team Match Lost Won Tied NR % Span
ශ්‍රී ලංකාව 860 428 390 5 37 52.32 1975-2021
ඉන්දියාව  993 427 516 9 41 45.28 1974-2021
පාකිස්තානය  993 414 490 9 20 42.94 1973-2021
බටහිර ඉන්දීය කොදෙව් 828 384 404 10 30 48.73 1973-2021
සිම්බාබ්වේ  532 375 138 8 11 73.09 1983-2020

මේ ලැයිස්තුව රටවල් 25ක් සහ Africa XI, Asia XI සහ ICC World XI යන කණ්ඩායම් ද ඇතුළත් වූවත් ඉහතින් දැක්වෙන්නේ පරාජිත ලැයිස්තුවේ ඉහළින් ම ලැයිස්තු ගත රටවල් 5යි.  

කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ පසුගිය වසර 5 ද ඇතුලත් ව ක්‍රිකට් ගැසූ රටවල් අතරින් ප්‍රතිශතයක් ලෙස ගත් කල හොඳට ම පරාජය වී ඇති රට ලෙසින් සැලකිය හැක්කේ බංග්ලාදේශයයි. ඔවුන් මේ දක්වා තරග 385කට මුහුණ දෙමින් ඉන් තරග 245ක් පරාජය වී තිබෙනවා. එහි ප්‍රතිශතය වන්නේ 89.68%ක්. ඊට අමතර ව පැපුවා නිව් ගිනියාව තරග 27කින් තරග 20ක් පරාජය වෙමින් 74.07%ක් ලබා දෙවැනි තැනට පත් වෙනවා. ඊට පසුව තරග 375ක් පරාජය වෙමින් ඉහත ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ හිමිකර ගෙන සිටින සිම්බාබ්වේ ලැයිස්තු ගත වෙනවා. 

එම ලැයිස්තුව ප්‍රතිශතයක් ලෙසින් සකස් කරන විට ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට වඩා හොඳ මට්ටමේ සිටිනවා. ඔවුන් තරග 129කට මුහුණ දී තරග 63ක් පරාජය වෙමින් ලබා ඇති පරාජිත ප්‍රතිශතය 50.04%ක්. 

ශ්‍රී ලංකාව එක් එක් රටවලට පරාජය වූ ආකාරය

Team Match Lost Won Tied NR Span
පාකිස්තානය 155 92 58 1 4 1975-2019
ඉන්දියාව 159 91 56 1 11 1979-2019
ඔස්ට්‍රේලියාව 97 61 32 0 4 1975-2019
නවසීලන්තය 99 49 41 1 8 1979-2019
දකුණු අප්‍රිකාව 77 44 31 1 1 1992-2019
එංගලන්තය 77 38 36 1 2 1982-2021
බටහිර ඉන්දීය කොදෙව් 63 31 29 0 3 1975-2021
සිම්බාබ්වේ  57 11 44 0 2 1992-2018
බංග්ලාදේශය 51 9 40 0 2 1986-2021
ඇෆ්ගනිස්තානය  4 1 3 0 0 2014-2019
කෙන්යාව 6 1 5 0 0 1996-2011

මෙම ලැයිස්තුවේ බර්මුඩා (1), කැනඩා (2), අයර්ලන්තය (4), නෙදර්ලන්තය (3), ස්කොට්ලන්තය (3) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (2) යන කණ්ඩායම් සමඟ තරග 15කට මුහුණ දී ඇති අතර ඉන් එක රටකට හෝ පරාජය නොවි සිටිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ පරාජිත තරග ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ අප කණ්ඩායම හොඳට ම පරාජය වී ඇති රට ලෙසින් සැලකිය හැක්කේ ඕස්ට්‍රේලියාවටයි. එහි පරාජිත ප්‍රතිශතය 65.59%ක්. දෙවැනි තැන ඉන්දියාව 61.9% ඉදිරියේ ද තෙවැනි තැන පාකිස්තානය 61.33% ඉදිරියේ ද ලියැවෙනවා. 

 ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජිත ගමන් මඟ

Span Match Lost Won Tied NR
1975 3 3 0 0 0
1979 2 1 1 0 0
1982-1986 59 42 13 0 4
1987-1991 55 44 11 0 0
1992-1996 113 54 51 1 7
1997-2001 140 56 80 1 3
2002-2006 138 58 75 1 4
2007-2011 133 54 71 0 8
2012-2016 139 62 66 2 9
2017-2021 78 54 22 0 2

1975 ලෝක කුසලාන තරගාවලියෙන් ආරම්භ වෙන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය අදියර 10කට ගත් කළ එහි දැඩිව විවේචනයට ලක් වන්නේ මේ කාලයයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවාසනාවන්ත ම පරිච්ඡේදය ලෙසින් ද සැලකෙනවා. 

2017න් ඇරඹි 2021න් අවසන් වන එම පරිච්ඡේදයට අයත් වසර 5ට ම අපි ජයග්‍රහණය කර ඇත්තේ තරග 22ක් පමණයි. තරග 78කට මුහුණ දෙන අප ඉන් තරග 54ක් පරාජය වෙන අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් කරනවා. මේ සංඛ්‍යා පරාජිත ප්‍රතිශතකයක් ලෙස ගත් කළ 71.05%ක්. 

නමුත් මෙම ලැයිස්තුව අනුව ගණනය කරන්නේ නම්, අපි හොඳට ම පරාජය වී ඇත්තේ 1987-1991 කාලයේදීයි. එම වසර 5ට තරග 55කට මුහුණ දෙන අප ඉන් තරග 44ක් පරාජය වෙනවා. මේ පරාජය ප්‍රතිශතයක් ලෙස ගණන කරද්දී ලැබෙන අගය 80%ක්.  

එහි දෙවැනි තැන ඊට පෙර වකවානුව වන 1982-1986 වසරයි. එවර තරග 59කට මුහුණ දෙන අප තරග 42ක් පරාජයට පත් වෙනවා. ප්‍රතිශතයක් ලෙසින් එය ගත් කළ 76.36%ක්. ඉතිරි තරග බෙදී යන්නේ ජයග්‍රහණ 13ක් සහ නොවිසඳුණ 4ක් ලෙසයි. 

මේ ගණනය කිරීමේ දී 1975 සහ 1979 වසර ද්විත්වය අප ඉවත් කරනුයේ එම වසරවල පැවති ලෝක කුසලාන තරග හැරෙන්නට අපිට වෙනත් කිසිදු තරගයක් නොලැබුණ නිසාවෙන්. 

තරග පරාජයන් අපේ නායකත්වයන් සමඟ 

අනුර තෙන්කෝන්ගෙන් ඇරඹෙන ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග නායක ලැයිස්තුව මේ වන විට 24 දෙනෙක්ගෙන් සමන්විතයි. 

මේ අතරින් අර්ජුන රණතුංගට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ මේ කාණ්ඩයේ ලෝක ශූරතාවයක් දිනූ පළමු සහ එක ම නායකයා, වැඩිම එක්දින තරග ප්‍රමාණයක නායකත්වයේ කටයුතු කිරීම, වැඩිම තරග ප්‍රමාණයක ජයග්‍රාහක නායකයා ලෙසින් ද සහ වැඩිම තරග ප්‍රමාණයක පරාජිත නායකයාද ලෙසින් යන සියලුම අංගවලින් පළමු වැනියා වීම නිසයි.

මේ ලැයිස්තුවේ කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ නායකයන් හය දෙනෙක් ද වෙනවා. ඒ අතරින් විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංගගේ නම ද ඇතුළත්. තරග 9කට නායකත්වය දෙන මාලිංගට කිසිදු තරගයක් ජයග්‍රහණයක් කරන්නට නොලැබෙන්නේ 2017-2019 තරග වසරවල දී. 

ඊට අමතර ව අනුර තෙන්නකෝන් (4), රොෂාන් මහානාම (2), ඩී. එස්. ද සිල්වා (1), චාමර කපුගෙදර (1) සහ චමින්ද වාස් (1) තරග 9කට නායකත්වය ලබා දී අවාසනාවන්තයන් බවට පත්ව සිටිනවා. 

ඔවුන්ට අමතර ව පරාජිත ප්‍රතිශත ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වෙන්නේ රංජන් මඩුගල්ලේ. ඔහු තරග 13කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 11ක් ම පරාජයට පත්වෙනවා. එහි ප්‍රතිශතය 84.61%ක්.  ඊට අමතර ව දුලිප් මෙන්ඩිස්, උපුල් තරංග, කුසල් පෙරේරා, ලහිරු තිරිමාන්න, තිසර පෙරේරා සහ බන්දුල වර්ණපුර ද ඉහළින් ප්‍රතිශතගත නායකයන් ලෙසින් ලැයිස්තු ගත වෙනවා. 

Captain Match Lost Won Tied NR % Span
අර්ජුන රණතුංග 193 95 89 1 8 52.19 1988-1999
ඇන්ජලෝ මැතිව්ස්  106 51 49 1 5 51 2012-2018
මහේල ජයවර්ධන  126 49 68 1 8 42.6 2004-2013
සනත් ජයසූරිය  118 47 66 2 3 41.59 1998-2003
දුලිප් මෙන්ඩිස්  61 46 11 0 4 80.7 1982-1987
මාවන් අතපත්තු  63 27 35 0 1 43.54 2001-2006
උපුල් තරංග 22 16 4 0 2 80 2016-2017
ටී. එම්. ඩිල්ෂාන් 26 15 11 0 0 57.69 2010-2012
කුමාර් සංගක්කාර 45 14 27 0 4 34.14 2009-2011
අරවින්ද ද සිල්වා  18 12 5 0 1 70.58 1992-1996
රංජන් මඩුගල්ල 13 11 2 0 0 84.61 1988
ලසිත් මාලිංග 9 9 0 0 0 100 2017-2019
දිමුත් කරුණාරත්න  17 7 10 0 0 41.17 2019-2021
දිනේෂ් චන්දිමාල්  12 5 6 0 1 45.45 2013-2018
බන්දුල වර්ණපුර  8 5 3 0 0 62.5 1979-1982
කුසල් පෙරේරා  5 4 1 0 0 80 2021
ලහිරු තිරිමාන්න 5 4 1 0 0 80 2015-2019
අනුර තෙන්නකෝන්  4 4 0 0 0 100 1975-1979
තිසර පෙරේරා  3 2 1 0 0 66.66 2017
රොෂාන් මහානාම 2 2 0 0 0 100 1994
ඩී. එස්. ද සිල්වා 1 1 0 0 0 100 1983
චාමර කපුගෙදර 1 1 0 0 0 100 2017
රවී රත්නායක  1 0 1 0 0 1988
චමින්ද වාස් 1 1 0 0 0 100 2006

හොඳම පරාජිත කණ්ඩායම් වූවත් පෑ දක්ෂතා

පරාජිත ලැයිස්තුවේ පළමු වැනියා වෙමින් හොඳම පරාජිත රට ලෙසින් ශ්‍රී ලංකාව පත් වූව ද අපේ ක්‍රීඩකයෝ විවිධ ආකාරයෙන් එක්දින වාර්තා අතර රැදී සිටිනවා. 

ඒ අතරින් වැඩිම පන්දු ගණනක් ඉතිරිව ප්‍රතිවාදීන් පරාජය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට අපේ කණ්ඩායම සමත් ව සිටිනවා. ඒ 2001 දී පන්දු 274ක් ඉතිරිව තිබිය දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලත් ජයග්‍රහණය සහ 2003 වසරේ දී කැනඩාවට එරෙහිව පන්දු 272ක් ඉතිරිව ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන්. 

කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු ලැයිස්තුවේ තෙවැනි තැන අපේ කණ්ඩායමට හිමි වෙනවා. ඒ 2006 වසරේ දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 9කට ලබා ගත් ලකුණු 443යි. මේ ලකුණු ප්‍රමාණය සංචාරක කණ්ඩායමක් සත්කාරක කණ්ඩායමකට එරෙහිව රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය ද වෙනවා. 

ලෝක එක්දිනක්‍රිකට් තරග ඉතිහාසයේ එක් කඩුල්ලක් දැවී ලබා ගත් වැඩිම ලකුණු අතර තෙවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ද සිටින්නේ අපේ ක්‍රීඩකයෝ. ඒ 2013 ඉන්දියාවට එරෙහිව ලකුණු 348ක්, 2015 වසරේ බංග්ලාදේශයට එරෙහිව332ක් සහ එම වසරේ ම එංගලන්තයට එරෙහිව ලකුණු 312ක් ලබා ගනිමින්. 

අඩුම ලකුණු ප්‍රමාණයකට කණ්ඩායමක් දවා ගැනීමේ වාර්තාවේ හිමිකාරීන් වෙන්නේ ද ශ්‍රී ලංකාව. ඒ 2004 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට දවා ගැනීම හේතුවෙන්. එම ලැයිස්තුවේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන ද හිමි වෙන්නේ ද ශ්‍රී ලංකාවට. 

ශ්‍රී ලංකා කණ්ඩායම නමින් එසේ වාර්තා වෙන් වෙද්දී පෞද්ගලික වාර්තාවන් රැසක ද අපේ ක්‍රීඩකයෝ රැඳී සිටිනවා. ඒ අතර ලෝකයේ එක්දින තරගවල වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි තැන කුමාර සංගක්කාර (14234), සිව්වැනි තැන සනත් ජයසූරිය (13430) සහ පස්වැනි තැන මහේල ජයවර්ධන (12650) රැඳී සිටිනවා. 

ජාත්‍යන්තර එක්දින තරගවල වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ගෙන සිටින්නේ මුත්තයියා මුරලිදරන් (534). එහි සිව්වැනි තැන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කරන චමින්ද වාස් (400) ලැයිස්තු ගතව සිටිනවා. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට එරෙහිව ලබා ගත් කඩුලු 8ක් ලෝක එක්දින තරගවල හොඳම පන්දු යැවීම බවට මෙතෙක් වසර 20ක් වාර්තා පොත් අතර රැඳී තිබෙනවා. 

ලසිත් මාලිංග එක්දින තරගය දී පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගත් ලොව පළමු සහ එක ම ක්‍රීඩකයා ලෙසත් සහ එක්දින ලෝක ශූරතා තරගමාලාවේ තරගාවලි 2ක දී ත්‍රිත්ව කඩුලු ලබා ගත් ලොව එක ම පන්දු යවන්නා ලෙසත් සහ එක්දින ජාත්‍යන්තර තරග කඩුලු ත්‍රිත්ව  ත්‍රිත්වයක් වාර්තා කිරීමටත් සමත් ව සිටිනවා. 

එමෙන් ම තරග 19ක දී කඩුලු 50ක් වාර්තා කළ අජන්ත මෙන්ඩිස් ලොව වේගවත් ම කඩුලු 50 ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කියනවා. 

මේ වැනි වාර්තා තවත් බොහෝමයක් ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී තිබෙනවා. එහෙව් ඉතිහාසයක වැඩිම තරග පරාජිත කණ්ඩායම ලෙසින් ද අප පත් වෙනවා. ඒ හේතුවෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දවස්වල එල්ල වන පීඩනයේ අඩුවක් නැහැ. 

නමුත් අප අමතක කළ යුතු නැහැ. මේ පරාජිත ලැයිස්තුවේ අපට ප්‍රථම මෙතෙක් රැඳී සිටියේ අප ඉතා දක්ෂ යැයි නිරන්තරයෙන් පවසන සහ පැවසූ ඉන්දීය කණ්ඩායමයි. වෙනසක් වේ නම් ඔවුන්ගේ දක්ෂතා තවමත් නොනැසී පැවැතීමත් සහ අපේ දක්ෂතා ගොනුකර ගත නොහැකිව අයාලේ යෑමත් ය.

ඊට පිළියම් යෙදීම අද දවසේ වඩාත් ම සුදුසු කාර්යයි. ඒ වෙනුවෙන් කණ්ඩායම් සාමාජිකයන්, කණ්ඩායම් කළමණාකාරීත්වය සේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සාමූහික විය යුතුයි. එසේ නොමැතිව කවුද හරියට ම කළේ යැයි එක් එක් අයගේ ඕප දූප හෙවීමෙන් හෝ අපි තමයි හරියට ම කළේ යැයි පුරසාරම් දෙඩීමෙන් ඵලක් නැත.

තොරතුරු මූලාශ්‍ර – Cricinfo

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<