තරගාවලි දෙකක් ඉලක්ක කරගෙන ක්‍රීඩකයන් 39ක් පුහුණුවීම් අරඹයි

ශ්‍රී ලංකා - ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය 2021

3515

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත පන්දුවාර තරගාවලිය සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කරගනිමින් නේවාසික පුහුණු සංචිත දෙකක් නම් කර තිබෙනවා.

එම සංචිත දඹුල්ල සහ කොළඹ දී පුහුණුවීම් සඳහා සහභාගී වීමට නියමිතයි. මෙම නම් කළ පුහුණු සංචිත සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයන් 26 දෙනෙකු ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ සහ සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයන් 2020/21 වසර සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත් පසුගිය දා අත්සන් කරනු ලැබුවා. මීට අමතරව මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 13 දෙනෙකු ද ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා. 

ඒ අනුව මෙම නම් කළ ක්‍රීඩකයන් 26 දෙනා පසුගිය ජුනි 25 වැනිදා සිට දඹුල්ලේ දී නේවාසික පුහුණුවීම් සඳහා සහභාගී වී සිටිනවා. නම් කළ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සංචිතය හෙට (02) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. 

දඹුල්ලේ දී මේ වන විට ආරම්භ වී ඇති පුහුණුවීම් ජූලි 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර කොළඹ දී හෙට ආරම්භ වන පුහුණුවීම් ජූලි 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා A සහ සංවර්ධන කණ්ඩායම් පුහුණු සංචිතය 

  • පිතිකරුවන්සධීර සමරවික්‍රම, නිපුන් ධනංජය, කමිල් මිශාර, සාමින්ද ප්‍රනාන්දු, නිශාන් මධුශ්ක, ලසිත් අබේරත්න, ශම්මු අශාන්, මිනෝද් භානුක, ලහිරු උදාර, නුවන්දිනු ප්‍රනාන්දු, සංගීත් කුරේ. 
  • තුන් ඉරියව් ක්‍රීඩකයන්කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ලහිරු සමරකෝන්, පුලින තරංග. 
  • දඟපන්දු යවන්නන්මහීශ් තීක්ශණ, අශාන් ඩැනියෙල්, නිමේශ් විමුක්ති, සුමින්ද ලක්ශාන්. 
  • වේගපන්දු යවන්නන්ඩිල්ශාන් මධුශංක, හිමේශ් රාමනායක, මොහොමඩ් ශිරාස්, උදිත් මධුශාන්, නුවන් තුශාර, චාමික ගුණසේකර, කළණ පෙරේරා. 

ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සංචිතය 

  • පිතිකරුවන්ඩිල්ශාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, රොශේන් සිල්වා. 
  • තුන් ඉරියව් ක්‍රීඩකයන්ලහිරු මධුශංක, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන. 
  • දඟපන්දු යවන්නන්ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රභාත් ජයසූරිය, මලින්ද පුශ්පකුමාර. 
  • වේගපන්දු යවන්නන්ලහිරු ගමගේ. 

ශ්‍රී ලංකා – ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය ජූලි 13 වැනිදා ආරම්භ වන අතර එයට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වනවා. 

පසුගිය වසරේ දී ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<