ධනංජයගේ පිතිකරණය අභිබවා එංගලන්තය නැගී සිටියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

733

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ක්‍රිකට් එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (2) අලුයම නිමා වුනේ ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක් හිමිකර දෙමින්. 

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම මේ තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුනේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් සඳහා හිමිකම් කියූ කණ්ඩායම ශ්‍රී ලංකාව බවට පත්කරමිනි.

එංගලන්තයේ ලන්ඩන් නුවර Oval ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් තුනක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනා. ආබාධයකට ලක්ව සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා නැවතත් කණ්ඩායමට පැමිණි අතර අසිත ප්‍රනාන්දු ද මේ තරගය සඳහා කණ්ඩායමට කැඳවා තිබුණා.

ඒ අනුව දෙරට අතර පැවති පළමු තරගය ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස්, ධනංජය ලක්ෂාන් සහ ප්‍රවීන් ජයවික්‍රම වෙනුවෙන් ධනංජය, අවිශ්ක සහ අසිත යන ක්‍රීඩකයින් ආදේශ කර තිබුණා.

එසේම එංගලන්ත ක්‍රීඩක Liam Livingstone සහ Chris Woakes වෙනුවෙන් Jason Roy සහ Tom Curran මේ තරගයට කැඳවීමට එංගලන්තය තීරණය කර තිබුණා.

දෙවැනි තරගයට සහභාගී වූ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Perera(w/c), Avishka Fernando, Dhananjaya de Silva, Wanindu Hasaranga, Dasun Shanaka, Charith Asalanka, Chamika Karunaratne, Binura Fernando, Dushmantha Chameera, Asitha Fernando

එංගලන්තය – Jonny Bairstow(w), Jason Roy, Joe Root, Eoin Morgan(c), Sam Billings, Moeen Ali, Sam Curran, David Willey, Tom Curran, Adil Rashid, Mark Wood

ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය පිතිකරුවන් සිව්දෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වුනත්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ අවිශ්ක ප්‍රනාන්දු යන පිතිකරුවන් සිව්දෙනාටම ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි. 

ඒ නිසාවෙන් සුපුරුදු පරිදි මේ තරගයේ දී ද ශ්‍රී ලංකා මුල්පෙළ බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා පළමු කඩුලු 4ක් ලකුණු 21ක් තුල දවා ගැනීමට වමතින් වේගපන්දු යවන Sam Curran සහ David Willey සමත් වුනා. එම කඩුලු 4 දැවී ගියේ ශ්‍රී ලංකාවට තිබූ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථා දෙක ද අහිමි කරමිනි.

ඉන් අනතුරුව පිටියේ එක්වුණු ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන යම් සටන්කාමී මට්ටමක් රැගෙන යාම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළ අතර 4 පහර දෙකක් එල්ල කරමින් පන්දු 49ක දී ලකුණු 26ක් ලබාගෙන සිටි වනිඳුගේ කඩුල්ල දවා ගනිමින් එංගලන්තය නැවතත් තරගයට අවතීර්ණ වුනා. එම කඩුල්ල ද දවා ගත්තේ Sam Curran විසින්.

සිය එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලබා ගත් ධනංජය ද සිල්වා මිනිත්තු 150කට ආසන්න කාලයක් සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිටියේ රැඳී සිටියා. පන්දු 91ක දී ලකුණු 91ක් ලබා ගනිමින් ඉතාමත් හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන සිටි ධනංජය මංගල එක්දින සිය ශතකයට තවත් ලකුණු 9ක් මෙපිටින් සිටිය දී David Willey එවූ කෙටි පන්දුවක් හමුවේ Joe Root වෙත උඩ පන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් හට හොඳ පිතිකරණ පාඩමක් ඉගැන්වූ දසුන් ශානක ඇතුළු පසුපෙළ පිතිකරුවන් පන්දුවාර 50 අවසන් වන තෙක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු සටහන කඩුලු 9ක් දැවී ලකුණු 241ක් දක්වා රැගෙන ගියේ ගෞරවාන්විත ලකුණු මට්ටමක් දක්වා ශ්‍රී ලංකා ලකුණු සටහන ඔසවා තබමිනි. 

පසුපෙළ සවිමත් කළ දසුන් ශානක සහ චාමික කරුණාරත්න පිළිවෙළින් ලකුණු 47ක් සහ ලකුණු 21ක් ලබා ගන්නා විට වේගපන්දු යවන ක්‍රීඩකයින් වුනු බිනුර ප්‍රනාන්දු (ලකුණු 17) සහ දුෂ්මන්ත චමීර (ලකුණු 14*) ද සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කළා.

පන්දු යැවීමේ දී List A ක්‍රිකට් දිවිය තුල හෝ කඩුලු 5ක් දවාගෙන නොමැති Sam Curran සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම දැක්වූයේ සිය පළමු කඩුලු 5 අවස්ථාව ලබා ගනිමිනි. එහි දී ඔහු ලකුණු 48කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. 

එම වමත් වේගපන්දු යවන්නාට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය අනෙක් කඩුලු 4 දවා ගත්තේ ද වමත් වේගපන්දු යවන්නෙක් වීම සුවිශේෂී වුනා. ඒ අනුව David Willey ලකුණු 64කට කඩුලු 4ක් දවා ගනිමින් Sam Curran වෙත සිය සහය ලබා දුන්නා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 242ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් එංගලන්ත ඉනිම ආරම්භ කළ Jason Roy  සහ Jonny Bairstow පළමු කඩුල්ල සඳහා ලකුණු 76ක සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සුපුරුදු ලෙස පළමු පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකාවට පීඩනය යොමු කළා.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 29ක් ලබා සිටි Bairstow දවා ගැනීමට වනිඳු හසරංග සමත් වුනා. සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 20 වන අර්ධ ශතකය ලබා ගත් Roy පන්දු 52කට මුහුණ දෙමින් 4 පහර 10ක් එල්ල කරමින් ලකුණු 60ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට චාමික සමත් වුනේ short midwicket කලාපයේ සිට ධනංජය ද සිල්වා රැක ගත් සුපිරි උඩ පන්දුව ද සවියක් කරගෙනයි.

ලකුණු 104ට කඩුලු 2ක් දැවී ගොස් තිබූ මොහොතේ දී පිටියේ එක්කාසු වුනු එංගලන්ත ටෙස්ට් නායක Root සහ සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක Eoin Morgan තුන්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 140*ක සබඳතාවයක් ගොඩනංවමින් පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු මේ තණතීරුව සිය ආධිපත්‍ය විහිදුවා හැරියා. 

අවසානයේ දී ඔවුන් දෙදෙනාම සිය අර්ධ ශතක සපුරා ගත් අතර Root නොකඩවා දෙවැනි වතාවටත් අර්ධ ශතකයක් ලබා ගනිමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 35 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් අතර 4 පහර 5කින් හැඩගැන්වුණු එම ඉනිම ලකුණු 68*කට සීමා වුනා.

මේ සීමිත පන්දුවාර තරගාවලිය පුරාවට එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වුනු Morgan මේ තරගයේ දී නොදැවී ලකුණු 75*ක් ලබා ගනිමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 47 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් අතර එම ඉවසිලිවන්ත ඉනිම සඳහා 4 පහර 8ක් සහ එක් 6 පහරක් අන්තර්ගත වුනා. 

අවසානයේ දී තවත් පන්දුවාර 7ක් ඉතිරිව තිබිය දී ඔවුන්ට ලැබුණු ලකුණු 242 ඉලක්කය හඹා ගිය එංගලන්තය මේ වසරේ දී සිය රට තුල ලබාගත් පළමු එක්දින තරගාවලි ජය වාර්තා කරගත්තේ ICC සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ප්‍රසාද ලකුණු 10ක් ද එකතු කරගෙනයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග කිහිපය පුරාවට හොඳින් පන්දු යැවූ චමීර සහ බිනුර හට මේ තරගයේ දී කඩුලු දවා ගැනීමට හැකියාවක් නොලැබුණු නමුත් වනිඳු සහ චාමික අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා – Sam Curran (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 4 වැනි ඉරිදා Bristol හි County ක්‍රීඩාංගණයේ දී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ තරගාවලියේ තොරතුරු වගේම තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<