32/32 වෙනසකට සූදානම් වන සිංහ – කොදෙව් බලමුළු

Sri Lanka tour of West Indies 2026

2

සංචාරක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය අද (3) සිට ආරම්භ වීමට නියමිතයි.  

1 වැනි එක්දින තරගය  

ජුනි 03 වැනිදා (දිවා) Kingston හි දී.  

2 වැනි එක්දින තරගය 

ජුනි 07 වැනිදා (දිවා/රාත්‍රී) Kingston හි දී 

3 වැනි එක්දින තරගය 

ජුනි 09 වැනිදා (දිවා/රාත්‍රී) Kingston හි දී 

මෙම තරග හා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සැසඳීමේ දී කණ්ඩායම් ද්විත්වයෙන් වත්මන් ලෝක එක්දින කණ්ඩායම් යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයත් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 10 වැනි ස්ථානයත් හිමිකර ගෙන සිටිනවා.   

වසර 51ක් පැරැණි දෙරට එක්දින තරග ඉතිහාසයේ දී දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 67ක දී එකිනෙකා හමුව ඇති අතර දෙපිල ම ඉන් තරග 32ක් බැගින් ජයග්‍රහණය කර තිබෙනවා. පරාජිත තරග සංඛ්‍යාවන් ද 32ක් බැගින් වන අතර නොවිසඳී අවසන් වූ තරග සංඛ්‍යාව 3ක්. 

දෙරට ක්‍රීඩකයෝ මෙම තරගයේ දී හමුවෙන්නේ වසර 2කට පසුව වන අතර ඔවුනොවුන් අතර පැවැති අවසන් තරග 5 ලැයිස්තු ගත වෙන්නේ 3-2ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙමිනුයි.   

මෙම දත්ත ද සමඟින් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් දෙරට ඉතිහාසයේ 30 වැනි නායකයා ලෙසින් පළමු වරට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව මෙම තරගයේ දී කාසියේ වාසිය උරගා බැලීමට නියමිත අතර Shai Hope ශ්‍රී ලංකාවට එරෙහි ව 5 වැනි වරටත් කාසියේ වාසිය උරගා බැලීමට නියමිතයි.  

ශ්‍රී ලංකා කණ්ඩායම 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ව නායකත්වයේ කබාය පැළැඳි 14 වැනියා ලෙසයි කුසල් මෙන්ඩිස් අද තරගයේ දි කාසියේ වාසිය උරගා බැලීමට පැමිණෙන්නේ. කෙසේ වෙතත් ඔහු මේ දක්වා ශ්‍රී ලංකා එක්දින තරග 17ක් මෙහෙයවා ඇති අතර ඉන් තරග 8ක් ජයග්‍රහණ කරමිනුත්, තරග 8ක් පරාජය වීමෙනුත් සහ එක් තරගයක් විසඳුමකින් තොරවත් අවසන් කර තිබෙනවා.  

මේ වන විට එක්දින තරග 154කට සහභාගී වී ඇති කුසල් මෙන්ඩිස් ශතක 6ක් සහ අර්ධ ශතක 35ක් සමඟින් ලකුණු 4890ක් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව තරග 10ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් එක් කළ ලකුණු 437ක් ද ඒ අතර තිබෙනවා.  

කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයන් අතුරින් එක්දින ලකුණු 3000 සමාජයට එක් වීමට තවත් ලකුණු 80ක් පිටුපසින් සිටින පැතුම් නිස්සංක සහ එක්දින ලකුණු 2734ක් ලබා සිටින හිටපු නායක චරිත් අසලංක ද සිටින අතර ඊට අමතර ව ඉදිරිපෙළ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලත් පවන් රත්නායක සහ කමිල් මිෂාර ද වෙනවා.  

තරගාවලියට එක්වෙන තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර උප නායක කමිඳු මෙන්ඩිස් මෙන් ම ජනිත් ලියනගේ ද සිටින අතර වනිඳු හසරංග ද අවශ්‍ය අවස්ථාවන්හිදී දක්ෂතා දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සේ ප්‍රචලිතයි. ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් දඟ පන්දු බලඇණියට මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ ද ඇතුලත්.  

කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් අතර එශාන් මාලිංගට සුවිශේෂී පිළිගැනීමක් ලැබී තිබෙනවා. නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පෑ දක්ෂතා හේතුවෙන් ඔහුට මේ පිළිගැනීම ලැබී තිබුණ ද ඔහු මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 7කට පමණයි.  

ඔහුට අමතර ව දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන් සහ මිලාන් රත්නායක ද වේග පන්දු යවන්නන්ගේ බලඇණිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිල් මිෂාර, පැතුම් නිස්සංක, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස් (උප නායක), වනිඳු හසරංග, එශාන් මාලිංග, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 

32 හැවිරිදි වියේ පසුවෙන බටහිර ඉන්දීය කොදෙව් නායක Shai Hope මේ වන විට එක්දින තරග 148කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු ශතක 19ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 6113ක්. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 13කට ක්‍රීඩා කරමින් ලබා ගත් ලකුණු 607ක් ද තිබෙනවා.  

මෙම ලකුණු අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පන්දු 140ක දී හතරේ පහර 10ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 115ක් ද සහ North Sound ක්‍රීඩාංගණයේ දී පන්දු 133ක දී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 110ක් ද ඒ අතර තිබෙනවා. ඊට අමතර ව ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගන්නා ලද අර්ධ ශතක 4ක් ද ඔහුගේ ගිණුමේ තැන්පත් ව තිබෙනවා.  

සත්කාරක කණ්ඩායමේ සිදු ව ඇති ප්‍රධානතම වෙනස්කම වෙන්නේ 29 හැවිරිදි වියේ පසුවෙන මැද පෙළ වමත් පිතිකරු Shimron Hetmyer, වසරක නිහැඬියාවකින් පසු කණ්ඩායම හා එක් වීමයි.  

ඔහු අවසන් වරට 2025 වසරේ ජුනි මාසයේ දී එංගලන්තය සමඟින් වූ එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරු ව ජාත්‍යන්තර එක්දින තරග පිටියට එක් වූයේ නැහැ. මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 57කට ක්‍රීඩා කර ඇති ඔහු ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1543ක් ලබා සිටිනවා.  

කණ්ඩායමට එක් ව ඇති පිතිකරුවන් අතර ආරම්භක වමත් පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණයට ලක් ව ඇති John Campbell ද සුවිශේෂී චරිතයක් වී තිබෙනවා. ඔහු 2019 වසරේ සිට 2025 වසර දක්වා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 9කට පමණක් සහභාගී වූවත් පසුගිය කාලයේ පළමු පෙළ තරග පිටියේ පෑ දක්ෂතාත් සමඟින් මෙම කණ්ඩායම හා එක් වෙනවා.  

ඔහු තම පළමු පෙළ අවසන් ඉනිම් 10 අවසන් කර ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 453ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 50.33ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් ව තිබෙනවා.  

එමෙන් ම කණ්ඩායම හා එක් ව සිටින තවත් සුවිශේෂී පිතිකරුවෙක් වී ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවෙන Keacy Carty. ඔහු මේ දක්වා එක්දින තරග 46කට සහභාගී වෙමින් ශතක 4ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1593ක් ලබා සිටිනවා. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි තරග 4ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 130ක් ලබා සිටිනවා.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන 34 හැවිරිදි වියේ පසුවෙන Roston Chase ද ප්‍රතිවාදීන් සසල කරන ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 69කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1158ක් ද සහ කඩුලු 45ක් ද ලබා සිටිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.  

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා බවට පත් වෙන්නේ 31 හැවිරිදි වියේ පසුවෙන Gudakesh Motie. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 34කට සහභාගී වෙමින් කඩුලු 42ක් දවා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟින් ද තරග ත්‍රිත්වයකට ක්‍රීඩා කර ඇති ඔහු එහි දී ලබා ඇත්තේ කඩුලු  2ක් පමණයි.  

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය 

Shai Hope (නායක සහ කඩුලු රකින්නා), John Campbell, Keacy Carty, Shimron Hetmyer, Sherfane Rutherford, Roston Chase, Justin Greaves, Matthew Forde, Shamar Springer, Gudakesh Motie, Jayden Seales, Ackeem Auguste, Amir Jangoo (කඩුලු රකින්නා), Alzarri Joseph, Shamar Joseph. 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<