ස්වීඩනය ජයග්‍රාහීව දිනය නිමා කරද්දී Czech සහ Croatia ගැටුම් සමවෙයි

Euro 2020

131

“Euro 2020” පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග තුනක් (D සහE කාණ්ඩයේ) ශ්රී ලංකා වේලාවෙන් ඊයේ (18) රාත්රියේ සහ අද (19) උදෑසන පැවැත්වුනා.

එහි දී Slovakia කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට ස්වීඩනය සමත් වූ අතර චෙක් ජනරජ – Croatia අතර තරගය සහ එංගලන්ත – ස්කොට්ලන්තය තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

Sweden v Slovakia 

අයර්ලන්තයේ Dublin හී Aviva ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය තියුණු සටනකින් පසු ගෝල 1-0ක් ලෙස නිමා වුනේ ස්වීඩන් ක්‍රීඩකයන් ජයග්‍රහණය සමරමින්.

පළමු අර්ධය තුළ දී කිසිදු ගෝලයක් ලබා ගැනීමට හෝ ගෝලයක් ලබා ගැනීමට ආසන්න අවස්ථාවක්  පවා නිර්මාණය කරගැනීමට දෙපිලේම ක්‍රීඩකයන්ට හැකි වුනේ නැහැ. එම අර්ධය තුල පන්දු පාලනයෙන් පෙරමුණ හිමිවුනේ Slovakia ක්‍රීඩකයන්ටයි.

දෙවැනි අර්ධය ආරම්භයේ සිට පෙර අර්ධයට වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දෙපිලෙන්ම දැක ගැනීමට හැකි වූ අතර 60 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ස්වීඩන් ක්‍රීඩක Ludwig Augustinsson හිසින් ගෝලයට එල්ල කළ පන්දුවක් අතිදක්ෂ ලෙස වළක්වන්නට Slovakia ගෝල රකින ක්‍රීඩක Martin Dubravka සමත් වුනේ ස්වීඩන් ප්‍රේක්ෂකයන්ගේ හදගැස්ම මොහොතකට නතර කරමින්.

ස්වීඩනයේ තවත් ගෝල ලබා ගැනීමට ආසන්නතම පහරවල් කිහිපයක් සාර්ථකව වළක්වන්නට Martin Dubravka සමත් වූ නමුත් 77 වැනි මිනිත්තුවේ දී ඔහු අතින් ක්‍රීඩකයෙකු නැවැත්වීමේ දී සිදූ වූ වරදක් නිසාවෙන් ස්වීඩනයට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් ස්වීඩන් ක්‍රීඩක Emil Forsberg පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් දැල තුලට ඇතුළු කිරීමට සමත් වූයේ මෙතෙක් වේලාවක් දක්ෂ ගෝල රැකීමක නිරත වූ Martin Dubravkaට නැවතීමට අවස්ථාවක් ලබා නොදෙමින්.

Emil Forsberg එල්ල කළ දඬුවම් පහර

තරගයේ මුළු කාලය පුරාවටම පන්දු පාලනයෙන් ඉදිරියෙන් සිටීමට Slovakia ක්‍රීඩකයන්ට හැකි වූ නමුත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ස්වීඩනය 01 – 00 Slovakia

ගෝල ලාභීන්:

  • ස්වීඩනය: Emil Forsberg 77’ (P)

Croatia v Czech Rep

ස්කොට්ලන්තයේ Hampden Park ක්‍රීඩාංගණයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කණ්ඩායම් ද්විත්වයම ගෝල 1 බැගින් රැස්කිරීම නිසා තරගය සමව අවසන් වුනා.

37 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සමඟ සාර්ථකව සිය කණ්ඩායම පළමු අර්ධයේ පෙරමුණට ගෙන ඒමට චෙක් ක්‍රීඩක Patrik Schick සමත් වුනා.

Croatia දඬුවම් සීමාව තුළ දී Dejan Lovren සිදු කළ වරදක් නිසාවෙන් හිමි වූ එම දඩුවම් පහර ප්‍රතිවාදී ගෝල රකින්නා මුලා කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල තුළට ඇතුළු කරමින් තරගාවලියේ ගෝල ලාභීන් අතර පෙරමුණට පැමිණීමට Schickට හැකි වුනා.

කෙසේ නමුත් 48 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කිරීමට Croatia ක්‍රීඩක Ivan Perisicට හැකි වුනා. දඬුවම් රාමුව තුළ සිට වේගවත් පහරක් එල්ල කරමින් පන්දුව ගෝලය තුළට ඇතුළු කිරීමට ඔහු සමත් වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට කිසිදු කාලයක් ඉතුරු නොකරමින්.

Ivan Perisic ගෝලය ලබාගත් අවස්ථාව

එම ගෝලයෙන් පසු තවත් ගෝල ලබා ගැනීමට හිමි වූ ආසන්නතම අවස්ථා කිහිපයක් සාර්ථකව නිමා කිරීමට Croatia ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා තරගය සමව අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය: චෙක් ජනරජය 01 – 01 Croatia

ගෝල ලාභීන්:

  • චෙක් ජනරජය: Patrik Schick 37’
  • Croatia: Ivan Perisic 48’

England v Scotland

එංගලන්තයේ සත්කාරකත්වයෙන් D කාණ්ඩයේ තරගයක් ලෙස Wembley ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ගෝල ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයටම නොහැකි වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

පෙර තරගයේ ලද ජයග්‍රාහී රිද්මය එලෙසම පවත්වා ගනිමින් මෙම තරගයට අවතීර්ණ වූ එංගලන්තය වෙනුවෙන් 11 වැනි මිනිත්තුවේ දී පැතිපහර අවස්ථාවක් මගින් ලද පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසුකරමින් ගෝලය දෙසට යොමු කිරීමට එංගලන්ත ක්‍රීඩක John Stones සමත් වූ නමුත් එම පන්දුව අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදීමෙන් ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව වැළකී ගියා.

එම අර්ධයේම 30 වැනි මිනිත්තුවේ දී ස්කොට්ලන්ත ක්‍රීඩක Stephen O’Donnell දඬුවම් රාමුව තුළ සිට ගෝලයේ වම් කෙළවරින් එල්ල කළ පහරක් අතිදක්ෂ ලෙස වළක්වන්නට එංගලන්ත ගෝල රකින ක්‍රීඩක Jordan Pickford සමත් වූයේ ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ද පුදුමයට පත් කරමින්.

Jordan Pickford සිදුකළ දක්ෂ වළකාලීම

එහි දී Jordan Pickfordගේ අතේ වැදී නැවත පැමිණි පන්දුව ගෝල රකින්නා නොමැති ගෝලයට එල්ල කරමින් ගෝලය සම්පූර්ණ කිරීමේ අවස්ථාව ස්කොට්ලන්ත ක්‍රීඩක Che Adamsට හිමි වූ නමුත් පන්දුවට ඔහු හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට පිටතින් ඇදී යාම නිසා එම අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

දෙවැනි අර්ධය තුළ ද ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝල ලබා ගැනීමට ආසන්නතම අවස්ථාවන් කිහිපයක් නිර්මාණය කර ගැනීමට දෙපිලේම ක්‍රීඩකයන් සමත් වූ නමුත් ඒවා ගෝලයන් බවට පරිවර්තනය කරගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 00 – 00 ස්කොට්ලන්තය 

තරගාවලියේ තවත් තරග ත්රිත්වයක් අද (19) රාත්රියේ සහ හෙට (20) උදෑසන පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලූම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<