වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ පසුගිය දා ආරම්භ වූ අතර එහි තවත් තියුණු තරඟ දෙකක් අද (10) නිමාවට පත්විය. මෙම තරඟ වලින් කැන්රිච් හා MAS Silueta යන ආයතන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: ජයග්‍ර‍හණය මොබිටෙල් සහ MAS කණ්ඩායම් වලට

කැන්රිච් ෆිනෑන්ස් A හා මොබිටෙල්  A කණ්ඩායම අතර තරඟය

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මොබිටෙල් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වීමට ශෙහාන් ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු 4 පහරවල් 9ක් සමඟ ලකුණු 51ක් ලබාගෙන තම අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නා ලදි.

ඔහුට සහය දුන් විශ්ව දීමන්ත විසින් 4 පහරවල් 3ක් සමඟ ලකුණු 40ක් තම කණ්ඩායමේ නම ඉදිරියෙන් සටහන් කරන ලදි. ලකුණු 30කට වඩා ලබාගත් ක්‍රීඩකයින් 4 දෙනෙකු සිටි අතර කැන්රිච් කණ්ඩායම ලකුණු 239ක් වැනි ඉහළ මට්ටමේ ලකුණකට යාමට සමත් විය. මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් ජයසිංහ විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම –239-10 (49.3) ශෙහාන් ප්‍රනාන්දු 51, විශ්ව දීමන්ත 40, රොෂාන් ලක්සිරි 39, ලක්ෂාන් ජයසිංහ 5/34, එරංග රත්නායක  3/29

ලකුණු 240ක තරමක් අපහසු ඉලක්කයක් හඹායාමට දෙවනුව පිටියට පැමිණි මොබිටෙල් කණ්ඩායමේ කඩුලු එකින් එක බිදවැටෙද්දී, ඔවුන් යම් පීඩනයකින් යුතුව පන්දුවට පහර එල්ල කල නිසා කැන්රිච් කණ්ඩායම විසින් මොබිටෙල් කණ්ඩායම ලකුණු 185කට සීමාකිරීමට සමත් විය.

නමුත් එම පීඩනය මොහොතකට අවම කරගෙන ක්‍රීඩා කල ලහිරු ජයකොඩි 4 පහරවල් 6ක් හා 6 පහරවල් 2ක් සමගින් ලකුණු 83ක් ලබාගැනීමට සමත් වුවද එම ලකුණෙන් මොබිටෙල් කණ්ඩායමේ පරාජය වැලැක්වීමට නොහැකි විය.

මොබිටෙල් කණ්ඩායම – 185-10 (39.5) ලහිරු ජයකොඩි 83, රොන් චන්ද්‍රගුප්ත 36, පසිදු තිරිමාදුර 20, ප්‍රභාත් ජයසූරිය 2/34, කසුන් විදුර 2/16

කැන්රිච් කණ්ඩායම ලකුණු 54ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


MAS Silueta හා පෑන් ඒශියා බැංකු කණ්ඩායම් අතර තරඟය

මෙම තරඟය කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැත්විණි. මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල පෑන් ඒශියා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් තණතීරුව වෙත පැමිණි MAS Silueta කණ්ඩායම ලකුණු 233ක් ලබාගත් අතර පැතුම්  වඩුගේ 4 පහර 6ක් සහ එක් 6 පහරක් සමගින් ලකුණු 48ක් ලබාගෙන අර්ධ ශතකය පෙ‍නෙද්දී  දවාලීමට බෝපගේ සමත් විය. කෙසේ වෙතත් අල්විස් ඇතුළු පෑන් ඒශියා කණ්ඩායමේ බොහෝ පන්දු යවන්නන් කඩුලු 2ක බැගින් දවාලන ලදි.

MAS Silueta කණ්ඩායම – 233/10 (48.1): පැතුම් වඩුගේ 48, බුද්ධික ද සිල්වා 45, ඒ. ජයසිංහ 28, තුශිත් ද අල්විස් 2/29, රුවින්ද තක්ෂල 2/36.

අනතුරුව පිටියට පැමිණි MAS Silueta කණ්ඩායමේ කෞශල්‍ය ගජසිංහ ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය නිසා MAS Silueta කණ්ඩායම තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කල අතර පෑන් ඒශියා බැංකු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වීමට විරාජ් දීපාල් සමත් විය. ඔහු 4 පහරවල් 4ක් සමඟ ලකුණු 32ක් ලබාගන්නා ලදි.

පෑන් ඒශියා කණ්ඩායම – 143/10 (33.5): විරාජ්  දීපාල් 32, චාමික සසංක 27, කවීන් ද  සිල්වා 27, කෞෂල්‍ය ගජසිංහ 4/12, රුමේෂ් සිල්වා 3/51.

MAS Silueta කණ්ඩායම ලකුණු 70ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්විය.

හෙට (11) පැවැත්වීමට නියමිත තරඟ,

  • කොමර්ෂල් බැංකු කණ්ඩායම හා සිංගර් කණ්ඩායම අතර තරඟය නිදහස් වෙළඳ සේවා  පිටියේදී,
  • එල්. බී. ෆිනෑන්ස් හා පෑන්  ඒශියා A කණ්ඩායම අතර තරඟය මත්තේගොඩ සරේ පිටියේදී ,
  • සෙලාන් බැංකු කණ්ඩායම හා හේලිස් ආයතනය අතර තරඟය වෙළෙඳ සංගම් පිටියේදී,

පැවැත්වෙනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට