අසාර්ථකත්වයට මූලික හේතුව ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්ති – සංගක්කාර

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය 2021

4820
Sangakkara

ශ්‍රී ලංකාව සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් සංචාරය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නිසා ද කණ්ඩායම කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ එතරම් ප්‍රසාදයක් ඇත්තේ නැහැ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට අත්ව ඇති මෙම ඉරණම සම්බන්ධයෙන් මෙරට හිටපු ක්‍රීඩකයන් රැසක් පසුගිය දා අදහස් දක්වා තිබුණා. ශ්‍රී ලංකාව තුළ පවතින දුර්වල දේශීය තරගාවලිය මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බව BBC Sports නාලිකාව සමඟින් එක්වූ හිටපු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසා සිටියා. 

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ සාර්ථක කණ්ඩායමක් ලෙස නැවතත් ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට නම් එම දේශීය තරගාවලිය තුළ ඇති ප්‍රමිතිය හැකි ඉක්මනින් ඉහළ නැංවිය යුතු බව ඔහුගේ මතය වී තිබෙනවා. 

එමෙන්ම ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ සිටින දක්ෂ ක්‍රීඩකයන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මහත් උනන්දුවෙන් බලා සිටිය ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇති දුර්වල පරිපාලනය සහ යල්පැනගිය ප්‍රතිපත්ති නිසා ඔවුන්ට සිය දක්ෂතා පෙන්වීමට සුදුසු අවස්ථාවක් නොලැබෙන බවයි. 

“මම ශ්‍රී ලාංකිකයෙක් විදියට මගේ රට ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වැදගත්කම වගේම මගේ ජීවිතේ ප්‍රධාන කොටසක් වූ ක්‍රිකට් ක්‍රීඩාව ගැනත් මම ගොඩක් ආඩම්බර වෙනවා. පසුගිය කාලය තුළ අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරම්පරා රැසක් ක්‍රීඩා කරනවා දැක්කා. ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයන් ඉහළට ඔසවා තැබීමට ඔවුන් කළ සේවය අපමණයි.”  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේත් මම වෙනසක් දකින්නේ නැහැ. ඔවුන්ටත් ඒ වගේම උනන්දුව, අධිෂ්ඨානය වගේම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තියෙන ආසාව මම දකිනවා. තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම ඔවුන් ආඩම්බරයක් කරගෙන සිටිනවා. ඔවුන්ට දක්ෂතා දක්වන්න තියෙන ප්‍රධාන බාධාව ක්‍රිකට් පරිපාලනයේ තියෙන යල්පැනගිය අදහස්. ඒවා වෙනස් කරන්න ආයතනයේ අකමැත්ත මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නාමය දියුණු වෙනවා වෙනුවට ආත්මාර්ථකාමී පැත්තකට තල්ලු වෙන එකයි.” 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරගාවලිය තුළ දිගින් දිගටම පරාජය වීමත් සමඟ නවක මෙන්ම කුඩා කණ්ඩායම් රැසක් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර ගියා. කුමාර් සංගක්කාර ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ එම ක්‍රමය වෙනස් කර ජයග්‍රහණ මාවතට පිවිසීමට කාලය පැමිණ ඇති බවයි. 

“එකට ආයතනය තුළ තියෙන ක්‍රම සහ ප්‍රතිපත්ති ගැන කතා කරද්දී මම ගොඩක් වෙලාවට අහලා තියෙනවා අපි 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී තිබුනෙත් මේ ප්‍රතිපත්ති, ඒ නිසා මේවා වෙනස් කරන්න ඕනේ නැහැ කියන තර්කය. අනෙක් කණ්ඩායම් නව ප්‍රතිපත්ති වගේම ඉතාමත් ප්‍රබල පළමු පෙළ තරගාවලි එක්ක අපිව පසුකරලා ගිහිල්ලා තියෙනවා. ඔවුන්ගේ තේරීම් ප්‍රතිපත්ති ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාව දැන් පරක්කු වැඩියි. අපි මේ ප්‍රතිපත්ති නිසා ක්‍රීඩකයන්ට ඇතිවෙලා තිබෙන  සෘනාත්මක බලපෑම අපට දැන් දකින්නට පුළුවන් වෙලා තියෙනවා. අපි දැන් වෙනස් වෙන්න ඕනේ.” 

“මේක කීප දෙනෙක්ගේ අදහස් ගන්නවා වගේ ලේසි දෙයක් නෙමෙයි. ඔවුනුත් වැරදි වෙන්න පුළුවන්. මෙතෙන දී වැදගත්ම දේ වෙන්නේ රට වෙනුවෙන් හොඳම දේ කරන එක. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් හදන එක තමයි වැදගත් වෙන්නේ.” 

තම පෞද්ගලික න්‍යාය පත්‍ර සහ මතිමතාන්තර පසෙක දමා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ලෝකයේ අංක එකේ කණ්ඩායම බවට පත්කිරීමට අවශ්‍ය තීරණ ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව කුමාර් සංගක්කාර අවධාරණය කර සිටියා. 

“මම හිතන්නේ මේ වෙලාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන සියලු පෞද්ගලික මතිමතාන්තර, පෞද්ගලික හැලහැප්පීම් වගේම සියලු කඳවුරු පසෙක දමා එකට එකතු වෙලා කටයුතු කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. අපි ඇත්තටම රටට ආදරේ නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදරේ නම් මේ වෙලාවේ වැදගත්ම ප්‍රශ්නය වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ අංක එකේ කණ්ඩායම බවට අපි පත්කරන්නේ කොහොමද කියන එක. අපි මේ ප්‍රශ්නයට දැන්ම උත්තර හොයන්න ඕනේ. මේක තවත් කල් අරන් යනවා කියන්නේ ඒක කණ්ඩායමට නරකම ප්‍රතිඵල ගේන්න පුළුවන් කියන එක.” 

“අවාසනාවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරන්නේ නැති වුනාම ඔවුන් පසුපස ඔවුන්ගේ අසාර්ථකත්වයට තියෙන හේතු හොයන්නේ නැහැ. හැමෝම ඇඟිල්ල දික් කරන්නේ ක්‍රීඩකයන්ට. මම ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද මම දන්නවා ඔවුන්ට තියෙන දක්ෂතාවය සහ ඔවුන්ට තියෙන හැකියාව. ඒ වගේම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තියෙන ආශාව වගේම ඒකට ඔවුන් කරන කැපකිරීම් ගැනත් මම දන්නවා. අපිට වඩා හොඳ තැනකට ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම ගේන්න පුළුවන්. අපි ඔවුන්ට ඒකට හැකි සෑම අවස්ථාවක්ම ලබා දෙන්න ඕනේ” යයි කුමාර් සංගක්කාර පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<