මීළඟ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට තරග 13ක්

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය - 2021-23

1311

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි අදියර එනම් 2021-23 තරගාවලිය ලබන අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරග 13ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ ආරම්භයත් සමඟ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි අදියර ආරම්භ වන අතර  එය ලබන අගෝස්තු මාසයේ සිට 2023 වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සහ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලිය 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන අදියරට ඇතුළත් තරග 5කින් සමන්විත වන තරගාවලි දෙක වන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට අයත් ටෙස්ට් තරගාවලිය, ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරට අදාළව පැවැත්වෙන තරග 4කින් යුත් එකම ටෙස්ට් තරගාවලිය වීම විශේෂත්වයක්.

ඊට අමතරව තරග 3 බැගින් වන ටෙස්ට් තරගාවලි 7ක් සහ තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි 17ක් 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් වෙනවා.

පළමු අදියරේ දී මෙන්ම දෙවැනි අදියරේ දී ද කණ්ඩායම් 9 විසින් සිය රටේ දී සහ ඉන් පිටත තරගාවලි 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ එංගලන්තයට වන අතර ඔවුන් ටෙස්ට් තරග 22ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට අමතරව ඉන්දියාව ටෙස්ට් තරග 19ක් ද, ඕස්ට්‍රේලියාව තරග 18ක් ද, දකුණු අප්‍රිකාව තරග 15ක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ටෙස්ට් ශූරයින් වන නවසීලන්තය යන කණ්ඩායම් ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග 13ක් පමණයි. බංග්ලාදේශය තරග 12ක් පමණක් ක්‍රීඩා කරන අතර තරග 2 බැගින් යුත් තරගාවලි 6ක් ක්‍රීඩා කරන එකම කණ්ඩායම වන්නේ ද බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාව මෙම අදියරේ දී ඕස්ට්‍රේලියාව, පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව බංග්ලාදේශයේ දී සහ නවසීලන්තයේ දී තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන්දියාවේ දී තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව දෙවැනි අදියරේ දී තරග වදින්නේ නැහැ.

පළමු අදියරේ දී මෙන් විවිධ ටෙස්ට් තරගාවලි සඳහා විවිධ තරග සංඛ්‍යාවක් ඇතුළත්ව තිබීම ප්‍රසාද ලකුණු සටහනට අනවශ්‍ය බලපෑමක් සිදු කරන්නේ නැහැ. ඒ අනුව ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාවට අදාළව වෙන්ව ඇති (ජය ගතහොත් ලබා ගත හැකි) ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සහ ක්‍රීඩා කිරීමෙන් පසුව ලබා ගත් ජයග්‍රහණ මත හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට අනුව ලකුණු ප්‍රතිශතය සකස් කර එහි ලැබෙන අගයන් මත ප්‍රසාද ලකුණු සටහන තීරණය කරනු ඇති.

එම ක්‍රමවේදය සඳහා ඉදිරියේ දී ICC විධායක කමිටු රැස්වීමේ දී අනුමැතිය හිමිවීමට නියමිතයි.

පළමු අදියරේ දී (2019-2021 දක්වා පැවති අදියර) තරගාවලියක් සඳහා ලකුණු 120ක් පිරිනැමුණු අතර, ටෙස්ට් තරගයක් සඳහා හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තීරණය වූයේ තරගාවලියකට අදාළව පැවති තරග සංඛ්‍යාව අනුවයි.

කෙසේ වෙතත්, දෙවැනි අදියරේ ලකුණු ලබා දීමේ යෝජිත ක්‍රමවේදයට අනුව තරගාවලියකට අදාළ තරග සංඛ්‍යාව කුමක් වුවත්, එක් තරග ජයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 12ක් ද, ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සඳහා ප්‍රසාද ලකුණු 4ක් ද, ලකුණු සම වන අවස්ථාවක දී ප්‍රසාද ලකුණු 6ක් ද හිමි වනු ඇත.

පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වූ විට, නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයකටම එක් දඬුවම් ලකුණක් බැගින් මෙම අදියරේ දී ද පනවනු ලබන අතර එය අදාළ කණ්ඩායම හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණුවලින් කපා හරිනු ඇත.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ 2021 – 23 තරග අදියරේ දී ශ්‍රී ලංකාවට හිමිවන තරග මෙසේයි,

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි,

  • ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරග 2
  • පාකිස්තානය සමඟ ටෙස්ට් තරග 2
  • බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ටෙස්ට් තරග 2

ශ්‍රී ලංකාවෙන් එපිට පැවැත්වෙන ටෙස්ට් තරගාවලි,

  • බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග 2
  • ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 3
  • නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 2

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 2ක් ජයගෙන තරග 6ක් පරාජය වී තරග 4 ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් එහි 7 වැනි ස්ථානය දිනා ගත්තා. එම අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟින් ක්‍රීඩා කළේ නැහැ.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<