ශ්‍රී ලංකාවට අවසන් කඩුල්ල පැනයන්නට හැකි වෙයි ද?

137

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 14න් පහළ ලෝක කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලිය, වයස අවුරුදු 16න් පහළ කනිෂ්ඨ ඩේවිස් කුසලාන තරගාවලිය සහ ‘Fed Cup’ කනිෂ්ඨ කණ්ඩායම් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට සුදුසුකම් ලබාගැනීම උදෙසා අවසන් සුදුසුකම් ලබාගැනීමේ වටයට මුහුණ දීමට කනිෂ්ඨ  ජාතික කණ්ඩායම් 4ක් මේ වන විට සූදානම් වෙමින් සිටිති.

නමුත් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම්වල දක්‍ෂතා සලකා බලන විට ඔවුන් එම ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලි සඳහා සැබවින්ම සූදානම් ද යන ගැටලුව පැනනඟී.

අප සැමට මෙය සුපුරුදු චක්‍රයක් වී හමාර ය. සෑම වසරක දී ම ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනා තේරීමේ තරගවල දී එකිනෙකා සමඟ තරගවැඳී, අනතුරුව එහි පළමු ස්ථාන 3 හිමිකරගන්නා තිදෙනා ජාතික වර්ණ සමඟින් නව බ්ලේසර් කබායන් පැලඳීමට අවස්ථාව හිමිකර ගනී. සෑම වසරක දී ම පාහේ ශ්‍රී ලංකා කණ්ඩායම් පූර්ව සුදුසුකම් ලබාගැනීමේ වටයට මුලින් මුහුණ දී එහි දී පිලිපීනය, බංග්ලාදේශය, නේපාලය සහ වියට්නාමය වැනි රටවල් වලින් පැමිණෙන කණ්ඩායම්වලට එරෙහිව විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වෙයි.

එම වටයෙන් අනතුරුව ඔවුන් අවසාන සුදුසුකම් ලබාගැනීමේ වටයට මුහුණ දෙන අතර එහි දී ඔවුන්ට සාමාන්‍යයෙන් ඉන්දියාව, තායිලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, සිරියාව සහ චීනය වැනි රටවල් වලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග කිරීමට සිදු වේ. කෙසේ නමුත් 1915 වසරේ ආරම්භයේ සිට අද දක්වා මෙම වටයෙන් ඉදිරියට යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමක් සමත්ව නැත.

ඒ අනුව ලෝක තලයේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවට තවමත් සිහිනයක්ම පමණක් වී ඇත. ෆ්‍රෑන්ක්ලින් එම්මානුවෙල්, හර්ෂණ ගොඩමාන්න, රජීව් රාජපක්ෂ, දිනේෂ්කාන්තන් තංගරාජා වැනි ප්‍රබල ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පමණක් නොව මනීෂා පෙරේරා, ශලිනි පෙරෙයිරා, මහේෂා සෙනෙවිරත්න, ජිත්මි ජයවික්‍රම සහ අම්රිතා මුත්තයියා වැනි ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්‍ෂ ටෙනිස් ක්‍රීඩිකාවන් ද එම වටයට උත්සාහ දරා ඇති නමුත් ඔවුන් ද එහි දී සාර්ථකත්වය ළඟාකර ගැනීමට අපොහොසත් වී ඇත.

ඇයි?

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ප්‍රමාණවත් නොවේ ද? නැත්නම් ශ්‍රී ලංකාව සතු පහසුකම් ප්‍රමාණවත් නොවේ ද? එසේත් නැත්නම් මේ සඳහා මූල්‍යමය ගැටලු හේතු වී ඇත්ද? වසර 100කටත් අධික කාලයක් උත්සාහ කොට කිසිවෙක් මෙම අවසාන සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් ඉදිරියට යන්නට අපොහොසත් වීම පිළිබඳව කෙනෙකුට දිය හැකි හේතු දැක්වීම කුමක් විය හැකි ද?

දිගු කාලීන පුහුණු වැඩසටහනක් නොමැති වීම මේ සඳහා ඉවහල් වී ඇති ප්‍රමුඛතම හේතුවක් ලෙස හඳුනාගත හැකිය. ටෙනිස් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කේවල ක්‍රීඩාවක් වීම හේතුවෙන් කණ්ඩායම් වශයෙන් පුහුණු වීම එතරම් සිදුනොවන නමුත් කණ්ඩායම් ශූරතාවලි පැවැත්වෙද්දී අදාළ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ට ද එක් එක් ක්‍රීඩකයින්ගේ වෙනස් ක්‍රීඩා කිරීමේ ශෛලීන් එකතු කර සම්බන්ධ කිරීමට සහ ඔවුන්ගේ ක්‍රීඩා ශෛලීන් වලට මෙන්ම කණ්ඩායමටම ගැළපෙන පරිදි සැලසුම් නිර්මාණය කිරීමට ද දැඩි උත්සාහයක් දැරීමට සිදු වේ.   

නමුත් ශ්‍රී ලංකාවේ කණ්ඩායම් තේරීමේ දී, විශේෂයෙන්ම කනිෂ්ඨ කණ්ඩායම් තේරීමේ දී අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම සිදුවන්නේ අදාළ තරගාවලි ඉතා ආසන්නයේ දී ය. ඒ අනුව ඔවුන්ට පුහුණුවීම් වල නිරත වීමට හිමිවන්නේ ඉතා සුළු කාල සීමාවක් වන අතර ඒ හේතුවෙන් පළමු හා දෙවන කේවල ඉසව් ද්විත්වය මෙන්ම යුගල ඉසව් සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්ණය කිරීමේ දී පුහුණුකරුවන් දැඩි අපහසුතාවලට මුහුණ දෙයි. අවසානයේ නොගැළපෙන ක්‍රීඩකයින් එම අදාළ ඉසව් සඳහා ක්‍රීඩා කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම්වලට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිව යයි. අනතුරුව මෙම සිද්ධි දාමයම ඉදිරි වසරේ දීත් මේ ආකාරයටම නැවතත් සිදුවේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකුගෙන් අවශ්‍ය කැපවීම සහ තරග කිරීම සහ ඉන්දියාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෙකුගෙන් අවශ්‍ය කැපවීමට සහ තරග කිරීමට කිසිසේත්ම සමාන කළ නොහැක.

කනිෂ්ඨ තලයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා හා හැකියාවන් සැලකිල්ලට ගත්කළ ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ පසුගිය වසර කිහිපයට අදාළ දත්ත සතුටුදායක නොවේ. ඕනෑම අවස්ථාවක ක්‍රීඩාව පරයා අධ්‍යාපනය ඉදිරියට එන ක්‍රමයක් හරහා මෙම තත්වය වෙනස් කිරීමේ හැකියාවක් නොමැත. නමුත් අනෙක් අතින් ක්‍රීඩාවේ අවසානය ජයග්‍රහණයකින් කෙළවර නොවන්නේ නම් ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ ඇති යහපත කුමක්ද?

එමෙන්ම මෙහි දී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ ක්‍රීඩාවේ දියුණුව සහ උන්නතිය සඳහා නිසි බලධාරීන් ලබා දී ඇති දායකත්වය සහ සහයෝගය ප්‍රමාණවත් ද යන්නයි. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ශ්‍රී ලංකාවේ ඇති දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වන පාලන ආයතනය යි. එමෙන්ම එය 360’ ඩිජිටල් ලොවකට පිවිසි ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා පාලන ආයතනය ද වන අතර ක්‍රීඩකයින්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩාලෝලීන්ට ද ක්‍රීඩාව කළමනාකරණයට ඩිජිටල් ප්‍රවේශයක් ලබා දුන් ආසියානු මහාද්වීපයේ 3 වන රට වීම ද මෙහි දී අතිශය වැදගත් වේ.

එසේ වුවත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දී ඇති වැදගත්කම ප්‍රමාණවත් ද? අතිවිශිෂ්ට දස්කම් දැක්වුවත් ඔවුන්ට මේ වන තෙක් ලබා දී ඇති අවස්ථාවන් ප්‍රමාණවත් ද? යම් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ටෙනිස් ක්‍රීඩාවෙන් වෘත්තීමය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබා දෙන උපදෙසක් වන්නේ වෙනත් රටක් වෙත යන ලෙසයි. මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති තත්වය අනුව එය අසාධාරණ යැයි නිගමනය කිරීමේ හැකියාවක් නොමැත.

මේ කුමක් වුවත් ශ්‍රී ලංකාවේ නාමය ඉහළින් රැඳවීමේ අරමුණ හිත දැරිව ටෙනිස් රැකට් රැගෙන පිටියට පිවිසෙන උද්යෝගිමත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සෑම විටම ඉදිරියට පැමිණෙනු ඇත. ඔවුන්ට නිසි මගපෙන්වීම ලබා දීමට ඉදිරිපත් වන ධෛර්යමත් පුහුණුකරුවෙක් ද ඒ ආකාරයටම ක්‍රීඩකයින් වෙනුවෙන් ඉදිරිපත් වනු ඇත. තවදුරටත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් තමා සතු සියලුම දේවල් තම දරුවන් ශ්‍රී ලංකා නාමය ඉහළට රැගෙන යාමට දරන වෑයම වෙනුවෙන් කැපකොට ඔවුන්ට ජය ඝෝෂා නැංවීමට කිසිදු පැකිළීමකින් තොරව සැමදා ඉදිරිපත් වනු ඇත.   

ඒ අනුව මෙම වසරේ දී ජාත්‍යන්තරය නියෝජනය කිරීමට හිමිවන එකම අවස්ථාවට ඇති අවසන් බාධකය ජයග්‍රහණය කිරීමට ඉදිරිපත් වන පුහුණුකරුවන්ට, කළමනාකාරිත්වයට දෙමාපියන්ට මෙන්ම විශේෂයෙන් ක්‍රීඩකයින්ට ThePapare.com අපි සුබ පැතුම් එක්කර සිටින්නේ වසර 100කටත් අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවට තරණය කිරීමට නොහැකි වූ කඩුල්ල මෙම වසරේ දී තරණය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන ලෙසයි.

වයස අවුරුදු 14න් පහළ ලෝක කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලිය අප්‍රේල් මස 01 වැනිදා සිට 14 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර දී පැවැත්වීමට නියමිත අතර වයස අවුරුදු 16න් පහළ කනිෂ්ඨ ඩේවිස් කුසලාන තරගාවලිය සහ ‘Fed Cup’ කනිෂ්ඨ කණ්ඩායම් ශූරතාවලිය අප්‍රේල් මස 08 වැනිදා සිට 20 වැනිදා දක්වා තායිලන්තයේ ‘Nonthaburi’ නුවර දී පැවැත්වීමට නියමිතය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පිළිබඳව වැඩිදුරටත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<