චාමික සහ සුපේෂල තරගය කණපිට හරවයි; සිංහයින් අවසන් තරගයට!

4074

ලොව පුරා විසිරී පැතිරී තිබෙන සරසවි රැසක් එක මිටකට එකතු කර ගනිමින් පැවැත්වෙන “Red Bull සරසවි ලෝක කුසලාන” විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අද (15) ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ලකුණු 3කින් පරාජයට පත් කරමිනි. අද දිනයේ පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් සටනේ ඉතිරි අසුන වෙන්කර ගත්තේය.

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් 4ට

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (12) පැවැත්වූ තරගය, කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව (BMS) මූලික වටයේ සහභාගි වූ තරග..

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ජැක් හොලෝවේ තීරණය කළේ මුලින් පන්දු යැවීම වඩා හිතකර වන බවයි. ඒ අනුව තම නායකයාගේ අදහස නිවැරදි බවට සාක්ෂි සැපයූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල්පෙළ බිඳ දැමුවේ තරගයේ සම්පූර්ණ ග්‍රහණය නතුකර ගනිමිනි. පන්දුවාර 4යි එක් පන්දුවක් ගත වන විටම ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ක්‍රීඩාගාරයේ අසුන් ගන්වන්නට ඔවුන්ට හැකි විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්වී තිබුණේ ලකුණු 14ක් පමණි!

ශ්‍රී ලංකා පිළ බලාපොරොත්තු තබා තිබූ ලහිරු මිලන්ත, හෂාන් දුමිඳු සහ දිනුක් වික්‍රමනායක වැනි පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණුවලට දැවී ගොස් තිබූ වටපිටාවක ශ්‍රී ලංකාවට ලකුණු 100 කරා ළඟා වීම ද සිහිනයක් වන බව පෙනෙන්නට තිබුණි. නමුත් එම බලාපොරොත්තු වලට නැවත පණ ලබා දුන් සුපේෂල ජයතිලක සහ චාමික කරුණාරත්න ලකුණෙන් ලකුණු එකතු කර ගනිමින් තම කණ්ඩායම ඇද වැටී තිබූ තැනින් නැවත නගා සිටුවීමට දැඩි වෙහෙසක් ගත්හ. ඔවුන් දෙදෙනා සයවැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ මෙම ලකුණු 67ක සබඳතාවය නොවන්නට අද තරගය අවසානයේ ඕස්ට්‍රේලියානුවන් ජය පැන් බීමට වැඩි ඉඩක් තිබුණි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සුපේෂල ජයතිලක පන්දු 41කින් ලකුණු 50ක් රැස් කර ගත් අතර ඔහුගේ ඉනිම මනරම් හතරේ පහර 5කින් සහ දැවැන්ත හයේ පහර ද්විත්වයකින් වර්ණවත් විය. ඔහුගේ සහයට සිටි දකුණත් පිතිකරු චාමික කරුණාරත්න පන්දු 29කින් ලකුණු 33යි. ශ්‍රී ලංකා පිළට නැවතත් ජයග්‍රහණ බලාපොරොත්තු එක්කළ චාමිකගේ ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. මොවුන් දෙදෙනාගේ අවස්ථානුකූල පිතිකරණය නිසා ශ්‍රී ලංකා පිළට අවදානම් කලාපයෙන් ඉවතට ගමන් කිරීමට ද හැකියාව උදාවිය.

සුපේෂල සහ චාමික පිටිය හැර යාමෙන් අනතුරුව තිලක්ෂ සුමනසිරි සහ රනිත ලියනාරච්චි අවසන් පන්දුවාර කිහිපයේ දී ගාලු පිටියේ මල්වෙඩි සන්දර්ශනයක් මැවීමට සමත් වූහ. එහි දී මූලිකත්වය ගත් තිලක්ෂ සුමනසිරි පන්දු 22කදී ලකුණු 40යි. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වික්ෂිප්ත කළ තිලක්ෂගේ මෙම සුපිරි ප්‍රහාරයට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. රනිත ලියනාරච්චි පන්දු 5කින් ලකුණු 11යි. මොවුන් දෙදෙනා නොදැවී ක්‍රීඩා කළ මෙම වේගවත් ඉනිම් ද්විත්වය නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 163ක් රැස්කර ගැනීමට ද හැකි විය.

ලකුණු 14ක් තුල දී කඩුලු 4ක් දවාගත් ඕස්ට්‍රේලියානු පිළ තමන්ට මෙතරම් දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදු වනු ඇතැයි කිසිවිටෙකත් විශ්වාස නොකරන්නට ඇත. නමුත් අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගැනීමට නම් මෙම ලකුණු සංඛ්‍යාව අනිවාර්යයෙන්ම හඹා යායුතු වූ නිසා ඔවුන්ට වෙනත් කිසිදු විකල්පයක් ඉතිරිව තිබුණේ නැත. කෙසේ වෙතත් පළමු කඩුල්ල වෙනුවෙන්ම අර්ධ ශතක සබඳතාවයක් එක් කරමින් ඊට සවිමත් අඩිතාලමක් දැමීමට ඔවුන්ට හැකි විය. පන්දුවෙන් ද දස්කම් දැක්වූ හේඩන් කර් එහි දී පන්දු 27කින් ලකුණු 54ක් රැස්කර ගනිමින් අති සාර්ථක විය. ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් මැදපෙළ පිතිකරුවන් දිගින් දිගටම දැවී යාම නිසා ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් දරන්නට සිදු වූයේ සුළුපටු වෙහෙසක් නොවේ. එහි දී පසුපෙළ පිතිකරුවන් ලෙස ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දීමට ප්‍රබල වෙහෙසක් දැරූ ජෝසප් කර්ශෝ සහ විල් ලෝරන්ස් ඉතාමත් වේගවත් පිතිකරණයක නිරත වෙමින් ජයග්‍රහණය ආසන්නයටම පැමිණෙන්නට සමත් වූහ. එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් සමඟින් ජෝසප් කර්ශෝ ලකුණු 34යි. ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 20ක් පමණි. ඔහුට අනගි සහයක් ලබා දෙමින් පන්දු 13කින් ලකුණු 20ක් ලබාගත් විල් ලෝරන්ස් අවසන් මොහොතේ දුවද්දී දැවී යාම තරගය නැවතත් ශ්‍රී ලංකා පිළ දෙසට හරවා දුන් හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය.

ඒ අනුව ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 160ක් පමණි. පන්දු යැවීමේ දී රනිත ලියනාරච්චි ලකුණු 19කට කඩුලු 2ක් බිඳ හෙලූ අතර අමිල අපොන්සු, කොෂාන් ජයවික්‍රම සහ චාමික කරුණාරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ චාමික කරුණාරත්නටයි. ඒ අනුව ඉතාමත් උණුසුම් තරගයක් අවසානයේ ලකුණු 3ක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ද තම අසුන වෙන්කර ගත්තේය.

ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී ලකුණු 163 (පන්දුවාර 20):  සුපේෂල ජයතිලක 50, තිලක්ෂ සුමනසිරි 40*, චාමික කරුණාරත්න 33, හේඩන් කර් 2/19, ජෝසප් කර්ශෝ 2/22, කීරන් එලී 2/29.

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී ලකුණු 160 (පන්දුවාර 20): හේඩන් කර් 54, ජෝසප් කර්ශෝ 34*, විල් ලෝරන්ස් 20, ‍රනිත ලියනාරච්චි 2/19, අමිල අපොන්සු 1/20, කොෂාන් ජයවික්‍රම 1/23, චාමික කරුණාරත්න 1/29.

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම අද පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ඉතාමත් පහසු ජයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි විය. ප්‍රතිවාදී බංග්ලාදේශ පිළට කිසිදු අවස්ථාවක දී හිස එසවීමට ඉඩ ලබා දුන් ඔවුන් මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා නිසා අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල වීමට ද ඉඩකඩක් පවතී.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඉතාමත් මන්දගාමී පිතිකරණයක යෙදුණු ඔවුන්ගේ ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 121කට සීමා විය. එහි දී දකුණත් පිතිකරු අවිශේක් මිත්‍රා පන්දු 19කින් ලකුණු 27ක් රැස් කර ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවත් පසු කිරීමට හැකි වූයේ නැත. පන්දු යැවීමේ දී ජුවාන් වෑන් වින්ගාඩ් තම දකුණත් වේග පන්දුවේ අණසක පතුරුවමින් ලකුණු 23ට කඩුලු 2ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව මෙම සුළු ලකුණු සංඛ්‍යාව පන්දුවාර 14යි පන්දු 4ක් තුල දී සම්පූර්ණ කර ගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන් අසරණ කර දමමිනි. අනුකම්පා විරහිත ප්‍රහාරයක යෙදුණු ජැන්මන් මාලන් පන්දු 47ක දී නොදැවී ලකුණු 69යි. ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. ඔහුත් සමඟ ඉනිම ආරම්භ කළ විහාන් ලුබ් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 32යි. දකුණු අප්‍රිකානුවන් මෙම තරගය හයේ පහරක් සමඟින් ජයග්‍රහණය කළේ අවසන් මහා තරගය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ගොන්නක් සිතේ රඳවාගෙනයි.

බංග්ලාදේශය – කඩුලු 7ක් දැවී ලකුණු 121 (පන්දුවාර 20): අවිශේක් මිත්‍රා 27, නහිදුල් ඉස්ලාම් 19, අරිෆුර් රහ්මාන් 17, අන්ජුම් අහමඩ් 16, ජසීම් උද්දීන් 13, ජුවාන් වෑන් වින්ගාඩ් 2/23, නීල් ඩුරෝ 1/18.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 127 (පන්දුවාර 14.4): ජැන්මන් මාලන් 69*, විහාන් ලුබ් 32, එඩ්රිච් ලුබ් 10, අරිෆුර් රහ්මාන් 1/15, නහිදුල් ඉස්ලාම් 1/23.

ඒ අනුව ශ්‍රී ලංකා සරසවි කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු සරසවි කණ්ඩායම අතර අවසන් මහා තරගය හෙට (16) ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් පසුගිය වසරේ පැවති සරසවි කුසලානය ද ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගයට අවතීර්ණ වන්නේ වත්මන් ශූරයින් වශයෙනි. කෙසේ වෙතත් මීට පෙර පැවති තරගාවලිවල සිටම ඉහළ දක්ෂතා දක්වා ඇති දකුණු අප්‍රිකාව මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වීම නිසා අවසන් සටන ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට කල් තියාම අනාවැකි පලකළ හැකිය.

       තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට