ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි

Road to Paris/ Paris Olympics 2024

313

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සූදානම් කරමින් තෝරා ගැනීම වෙනුවෙන් 58 දෙනෙකුගෙන් සමන්විත ඉහළ කාර්යසාධන ක්‍රීඩක සංචිතයක් නම් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම ක්‍රීඩක සංචිතය නම් කර ඇති අතර, මෙහි දී එළඹෙන ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා 33 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ද, අගෝස්තු 28 සිට සැප්තැම්බර් මස 08 දක්වා පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් උළෙල සඳහා ද 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

මෙම සංචිත සඳහා පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම් ලාභී කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, පසුගිය දා නිමා වූ ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටවූ අකලංක පීරිස්, ආසියානු පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න, නදීශා ලේකම්ගේ, නදීශා රාමනායක මෙන්ම පැරා ක්‍රීඩකයින් ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ප්‍රමුඛ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් රැසකගේ නම් ඇතුළත්.

එමෙන්ම මූලික වශයෙන් ක්‍රීඩා ඉසව් 15ක් ඉලක්ක කර ගනිමිනුයි මෙම ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 58 දෙනාගේ සංචිතය නම් කර තිබෙන්නේ.

දැනට නම් කර ඇති ඉහළ කාර්ය සාධන සංචිත මෙසේයි;

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා:

  • මලල ක්‍රීඩා – යුපුන් අබේකෝන්, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, පබසර නිකූ, පසිඳු කොඩිකාර, එච්.වී.ඩී. දේශාන්, ආර්. නදීශා, තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබ්රත්න, දිල්හානි ලේකම්ගේ, ජේ.එච්. උත්තරා, හර්ෂනී ප්‍රනාන්දු, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, වයි.එම්.සී. යෝධසිංහ, සාරංගි ද සිල්වා, රන්දි කුරේ, ජේ.අයි. ලක්විජය, රුමේෂිකා රත්නායක
  • බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ
  • බොක්සිං – උමයංග මිහිරාන්, රුක්මාල් ප්‍රසන්න
  • Springboard – දුලාංජන ප්‍රනාන්දු
  • ජිම්නාස්ටික් – නදිලා නෙත්විරු, මිල්කා ගිහානි
  • ජූඩෝ – ආර.සී.එන්. ධර්මවර්ධන
  • වෙඩි තැබීම – අමන්දිකා අමරසිංහ, ගවින් ජයසේකර
  • ස්කොෂ් – රවිඳු ලක්සිරි
  • පිහිනුම් – අකලංක පීරිස්
  • බර ඉසිලීම – වයි.ඩී.අයි. කුමාර, ඩී.එම්.අයි.සී. දිසානායක
  • මල්ලවපොර – අහිංසා ප්‍රනාන්දු

පැරා ඔලිම්පික් උළෙල සඳහා:

  • මලල ක්‍රීඩා – ප්‍රියන්ත හේරත්, සමිත දුලාන්, මධුරංග සුබසිංහ, ප්‍රදීප් සෝමසිරි, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, අනිල් ප්‍රසන්න, බුද්ධික ඉන්ද්‍රපාල, දනනි ධනංජනා, අමිල ප්‍රසාන්, දේශාන් සිල්වා, හේෂාන් ප්‍රනාන්දු
  • වෙඩි තැබීම – යූ.ජී.එස්. කුමාර, නෙරංජලා රණසිංහ, කැලුම් සූරියකුමාර
  • දුනු විදීම – සම්පත් බණ්ඩාර, ඩබ්.අයි.ජේ.එන්. වීරතුංග
  • බැඩ්මින්ටන් – සුජීව පෙරේරා
  • ඔරු පැදීම – ප්‍රියමාල් ජයකොඩි
  • පිහිනුම් – ගලීනා බස්නායක, නවීඩ් රෂීන්
  • ටෙනිස් – ඩී. එස්. ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක
  • මේස පන්දු – ඩී.ඩී. සිල්වා

Road To Paris යන නමින් යුතුව මෙම ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට එළඹෙන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සහ සහභාගී වීම සඳහා අවශ්‍ය සියලු අරමුදල් සහ පහසුකම් සපුරාලීමට මෙයින් බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වැඩසටහනේ සහය ද ඇතිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තේරීම් තරගවලින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩක/ක්‍රීඩිකාවන් තෝරා ගැනෙනු ඇති.

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<