මයිකල් ෆෙල්ප්ස්ට අභියෝග කළ අවුරුදු 10 සුපර්මෑන්

725

සුපිරි පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස්ගේ වාර්තා බිඳ දැමීම පහසු කර්තව්‍යයක් නොවේ.කෙසේ වෙතත් චිත්‍ර කතා සුපිරි වීරයෙකුගේ නමක් සමඟින් තරග කළ 10 හැවිරිදි කුඩා දරුවෙකු මයිකල් ෆෙල්ප්ස්ගේ වසර 23ක් පැරණි වාර්තාවක් බිඳ දැමුවේ සියලු දෙනා මවිත කරමින්.  

ඔහුගේ නම ක්ලාර්ක් කෙන්ට්, ඔව්. ඔබේ මතකයට එන ‘Superman’.

පිහිනුම් තටාකයේ බැල්ටිමෝර් වෙඩි උණ්ඩය – මයිකල් ෆෙල්ප්ස්

මින් එක් නමක් හෝ ඔබට හුරුපුරුදු ද? එසේ නම් ඔබ පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති අයෙකු විය යුතුය……

පසුගිය සතිඅන්තයේ දී මොන්ටෙරි කන්ට්‍රි ජල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් කැලිෆොර්නියාවේ ෆාර් වෙස්ට් අන්තර්ජාතික ශූරතාවලිය සඳහා තරග කළ පුංචි ක්ලාර්ක් මීටර 100 සමනල ආර ඉසව්ව මිනිත්තු 1:09:38කින් නිමා කරමින් මෙම නව වාර්තාව පිහිටුවන්නට සමත් වුනා.

ඒ සමඟම 1995 වසරේ දී, එම ශූරතාවලියේ දී ම මයිකල් ෆෙල්ප්ස් පිහිටුවා තිබූ එම ඉසව්වේ වාර්තාව තත්පරයක වෙනසකින් බිඳ දමන්නට ක්ලාර්ක් සමත් වුනා.

එම වාර්තාව 1995 වසරේ සිටම නොබිඳී පැවතුණු අතර සුපිරි ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් ඔලිම්පික් පදක්කම් 28ක් දිනා ගැනීමට සමත් වුනා. වඩා රසවත් කරුණ නම් කුඩා ක්ලාර්ක් කෙන්ට් පිහිනුම් ක්‍රීඩාව අරඹා තවමත් ගතව ඇත්තේ වසර හතරක් පමණක් වීමයි.

“මේ දරුවා වැනි කිසිදු දරුවෙකු මා මීට පෙර පුහුණුකර නැහැ” ක්ලාර්ක්ගේ පුහුණුකරු Dia Riana සී. එන්. එන් වෙත අදහස් දක්වා පවසා තිබුණි. ”ඔහු සෑම විටම කැපී පෙනෙනවා, ඔහු සෑම දෙයින්ම විශිෂ්ටයෙක්.”

ක්ලාර්ක්ගේ මායාකාරී හැකියාවන් පිහිනුම් තටාකයට පමණක් සීමා නොවේ.

“ඔහු පියානෝ වාදනයේ යෙදෙනවා, ඔහු අත්මාරක්ෂක ක්‍රීඩාවල යෙදෙනවා, ඔහුගේ පාසලේ පරිගණක ක්‍රමලේඛන පන්තියක් හෝ STEM පාඨමාලාවක් හෝ නොතිබුනොතින් ඔහු අනිවාර්යයෙන්ම එයට සහභාගි වෙනවා”, ඔහුගේ පියා ක්‍රිස් ප්‍රකාශ කළේය.

                                                                             (ක්ලාර්ක් කෙන්ට්)

ක්ලාර්ක් පවසා සිටියේ මේ වැඩ සියල්ල ඔහුට බරක් නොවන බවයි.

“මම සියලු දේ හොඳට කරනවා, සියලු දේම සමබර කිරීම තමයි මම කළ යුත්තේ”

“මම පිහිනුම් ක්‍රීඩාවට කැමතියි, මට ගොඩක් අය සහයෝගය දෙනවා, මගේ පුහුණුකරු හා මගේ දෙමව්පියන් හැම වෙලාවේම මට සහයෝගය දෙනවා” ක්ලාර්ක් අදහස් දැක්විය.

“තමන්ගේම බලයක් සොයා ගැනීම අධිෂ්ඨානය මත තමයි රඳා පවතින්නේ” ක්ලාර්ක් පවසා සිටියේය.

“විශාලව සිතන්න, සහ සෑම වේලාවෙම ඔබගේ සිහින පිළිබඳ අවධානය යොමු කර සතුටු වන්න”

CNN වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<