අරුණට හයවැනි ස්ථානය

World Athletic Championship 2023

1089
World Athletic Championship 2023

හංගේරියාවේ බුඩාපේස්ට් හිදි පැවැත්වෙන 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු ශ්‍රී ලංකා බලාපොරොත්තුව ලෙස අරුණ දර්ශන අද (20) තරග බිමට පිවිසුණා.

පිරිමි මීටර් 400 ඉසව්වේ පළමු තරග වටයට (Heat 1) සහභාගී වෙමින් අරුණ දර්ශන අද දිනයේ දී තරග බිමට පිවිසුණු අතර ඔහු සිය තරගය තත්පර 45.70ක කාලයක් තුල නිමා කිරීමට සමත් වුනා.

මෙම ඉසව්වේ සිය හොඳම කාලය ලෙස තත්පර 45.45ක් වාර්තා කිරීමට සමත් වී ඇති අරුණ අද දිනයේ ද සාපේක්ෂව හොඳ ධාවනයක යෙදුනත් ඔහුට මෙහි තරගකරුවන් හත් දෙනෙකු අතරින් හිමින් වුනේ හයවැනි ස්ථානයයි.

තරග වට 6කින් සමන්විත වූ මෙම ඉසව්වට ක්‍රීඩකයින් 41ක් දෙනෙකු සහභාගී වූ අතර ඉන් අරුණ වාර්තා කළ කාලය රැඳුණේ 34 වැනි ස්ථානයේයි.

මෙම තරගයෙන් අවසන් පූර්ව වටය සඳහා තෝරා ගැනුණේ ක්‍රීඩකයින් 24 දෙනෙකු පමණක් වන අතර, අරුණට ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

කෙසේ වෙතත් ඔහු සහභාගී වූ තරග වටයෙන් තරගකරුවන් පස් දෙනෙකු මීළඟ වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම ම අරුණගේ දක්ෂතාව පිළිබඳ පැහැදීමක් ඇති කරවන කාරණයක්.

අද දිනයේ මෙම ඉසව්වෙන් හොඳම කාලය වාර්තා කිරීමට නෝර්වේ හි Bentdal Ingvaldsen (44.39) විසින් සමත් වූ අතර, ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ Wayde Van Niekerk තරගයේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට සමත් වෙමින් ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගත්තා.

මීට අමතරව Steven Gardiner, Karani James, Vernon Norwood වැනි ඉසව්වේ විශිෂ්ටතමයින් ද ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය වන අද දිනයේ ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කර ගන්නා මලල ක්‍රීඩා ඉසව්වක් වන පිරිමි මීටර් 100 අවසන් තරගය පැවැත්වීමට නියමිතයි. එම තරගය ලොව විශිෂ්ටතම කෙටි දුර ධාවකයින් පිරිවරා අද රාත්‍රි 10.20ට පැවැත්වෙනු ඇති.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<