ලෝක ශූරතාවලියේ දී අකලංක පීරිස්ගෙන් නව ජාතික වාර්තාවක්!

World Aquatic Championship 2024

213

දෝහා හි පැවැත්වුණු 2024 ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට අකලංක පීරිස් විසින් පසුගිය දා සමත් වුනා.

පසුගිය 02 දා ආරම්භ වූ මෙම ලෝක ජල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (18) දිනයෙන් නිල වශයෙන් නිමා වූ අතර, මේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගී වූ අතර, ඒ අතුරින් වාර්තා වූ හොඳම දක්ෂතාව ලෙස අකලංකගේ මෙම ජාතික වාර්තාව හඳුන්වා දිය හැකි.

පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ මීට පෙර පැවති වාර්තාව තත්පර 0.15කින් ඉහල දමමින්, තත්පර 25.86ක කාලයක් තුළ මෙම ඉසව්ව නිමා කළ අකලංක ඉසව්වේ 22 වැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වුනා.

අකලංකට අමතරව පිහිනුම් ඉසව් සඳහා කයිල් අබේසිංහ, ගංගා සෙනෙවිරත්න සහ හිරුකි ද සිල්වා යන ක්‍රීඩක/ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියට සහභාගී වුනා. එමෙන්ම ජාතික කිමිඳුම් ශූර දුලාංජන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා විවෘත පිහිනුම් ශූර දිලංක පීරිස් ද මෙවර ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළා.

මේ අතුරින් පළමුවෙන්ම තම ඉසව්ව සඳහා සහභාගී වූ දුලාංජන් ප්‍රනාන්දු පිරිමි මීටර් 1 Springboard ඉසව්වට සහභාගී වෙමින් ලකුණු 150.40ක් ද සමඟින් 44 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. ඉන් පසුව පිරිමි මීටර් 3 Springboard ඉසව්වට සහභාගී වූ දුලාංජන් එහි දී ලකුණු 180.25ක් සමඟින් 68 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.

මේ අතර පිරිමි කිලෝමීටර් 5 විවෘත පිහිනුම් ඉසව්ව සඳහා සහභාගී වෙමින් දිලංක පීරිස් මෙම ඉසව්ව සඳහා සිය පෞද්ගලික හොඳම කාලය ලෙස පැය 1.00.42.90ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුගේ තරග නිමි කාලය සහභාගී වූ ක්‍රීඩකයින් අතුරින් 66 වැනි ස්ථානයේ රැඳුණා.

මෙම ඉසව්වලින් අනතුරුව ශූරතාවලියේ පිහිනුම් ඉසව් ආරම්භ වූ අතර, එහි දී අකලංක පීරිස් මීටර් 50 පසුපස ආර ඉසව්වට අමතරව, මීටර් 100 පසුපස ආර ඉසව්වට ද සහභාගී වූ අතර එහි දී තත්පර 57.52ක කාලයක් සමඟින් 40 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.

මේ අතර මෙහි දී කයිල් අබේසිංහ පිරිමි මීටර් 100 සහ 50 නිදහස් ආර ඉසව් සඳහා සහභාගී වූ අතර ඒවායේ දී ඔහු විසින් පිළිවලින් තත්පර 50.99ක් සහ තත්පර 23.45ක් සිය තරග නිමි කල ලෙස සටහන් කිරීමට සමත් වුනා. එමෙන්ම ඔහුගේ මෙම නිමි කාල ඔහු එම ඉසව්වල 41 සහ 48 යන ස්ථානවලට පත් කළා.

එමෙන්ම ගංගා සෙනෙවිරත්න ද කාන්තා මීටර් 100 සහ 200 පසුපස ආර ඉසව් සඳහා මෙහි දී සහභාගී වුනා. මීටර් 100 ඉසව්ව විනාඩි 1.04.93කින් නිම කරමින් එහි 38 වැනි ස්ථානය ද, මීටර් 200 ඉසව්ව විනාඩි 2.29.23කින් නිම කරමින් එහි 31ක් වැනි ස්ථානය ද ලබා ගැනීමට ගංගා විසින් සමත් වීම විශේෂත්වයක්.

මේ අතර මෙවර ශූරතාවලිය වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව වූ හිරුකි ද සිල්වා කාන්තා මීටර් 200 නිදහස් ආර ඉසව්වෙන් සිය පෞද්ගලික හොඳම තරග නිමි කාලය ලෙස විනාඩි 2.10.00ක් සමඟින් ඉසව්වේ 39 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූ අතරම, තත්පර 59.85කින් කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්ව නිම කරමින් එහි 45 වැනි ස්ථානය ලබා ගැනීමට ද සමත් කම් දැක්වූවා.

මෙවර දෝහා හි පැවැත්වුණු ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා දක්ෂතා එසේ වන අතරේ, ශූරතාවලියේ වඩාත් කැපී පෙනෙන දක්ෂතාව ලෙස සටහන් වුනේ 19 හැවිරිදි චීන ක්‍රීඩකයකු වූ Pan Zhanle විසින් මීටර් 100×4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ පළමු පිහිහුම්කරු ලෙස තරගය ආරම්භ කරමින් සිය අදියර තත්පර 46.80ක් කාලයකින් නිම කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීමයි. මීට පෙර රුමේනියාවේ David Popovici විසින් තත්පර 46.86ක කාලයක් තුළ පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි Zhanle විසින් මෙසේ බිඳ දැමීමට සමත් වුනේ.

ශ්‍රී ලංකාවේ මීළඟ ජාත්‍යන්තර මට්ටමේ ජල ක්‍රීඩා තරග අත්දැකීම ලෙස එළඹෙන පෙබරවාරි 26 පිලිපීනයේ දී ආරම්භ වීමට නියමිත එකොළොස් වැනි ආසියානු වයස් කාණ්ඩ ජල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමට නියමිත අතර, එහි සවිස්තරාත්මක තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<