2024 වසරේ මලල ක්‍රීඩාවේ ලෝක වාර්තා අලුත් වීම ඇරඹුණා!

World Athletics 2024

708
World Athletics 2024

නෙදර්ලන්තය ජාතික ධාවන ශූරියක් වන Femke Bol විසින් කාන්තා මීටර් 400 ගෘහස්ථ ධාවන ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (18) සමත් වුනා.

මීට පෙර ද මෙම ලෝක වාර්තාවේ අයිතිය Bol සතුව ම පැවති අතර, මීට වසරකට පෙර (2023 පෙබරවාරි 19) ඇය විසින් මෙම ඉසව්වේ පෙර පැවති වසර 41ක් ඉපැරණි ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

තත්පර 49.26ක කාලයක් තුළ සිය ඉසව්ව නිම කරමින් එදා එම වාර්තාව බිඳ හෙළූ Femke bol, ඊයේ දිනයේ දී Dutch Indoor Championship තරගාවලියේ දී තම වාර්තාව තවත් තත්පර 0.02කින් ඉදිරියට ගෙන ඒමට සමත් වීම විශේෂත්වයක්.

තවමත් 23 හැවිරිදි වියේ පසු වන Femke Bol මේ වන විටත් අවස්ථා හයක දී මෙම ඉසව්ව තත්පර 50ට වඩා අඩු කාලයකින් නිම කිරීමට සමත් වී ඇති අතර, මෙම ඉසව්වේ මෙතෙක් වාර්තා වී ඇති හොඳම ධාවන කාල 12න් හයක ම අයිතිය ඇත්තේ ද ඇයගේ නම ඉදිරියෙනුයි.

එමෙන්ම ඇය විසින් නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම එළඹෙන මාර්තු පළමු වැනි දා එක්සත් රාජධානියේ දී ආරම්භ වීමට නියමිත ගෘහස්ථ ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ද ඇය පිළිබඳ විශේෂ බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇති.

මේ අතර පසුගිය දා පැවැත්වුණු එක්සත් ජනපද ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 60 ධාවන ඉසව්ව තත්පර 6.43කින් නිමා කරමින් සිය පෞද්ගලික හොඳම කාලය සහ මෙම වසරේ ඉසව්වේ හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට ලෝක ශූර Noah Lyles විසින් සමත් වුනා. ඔහු විසින් මෙම තරගයේ දී මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන Christian Colemanව ද පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වීම වඩාත් සුවිශේෂී කරුණක්.

මීටර් 300 ලෝක වාර්තාවත් සුන් වෙයි

මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන දකුණු අප්‍රිකාවේ Wayde Van Niekerk විසින් 2017 වසරේ දී මීටර් 300 ඉසව්ව සඳහා පිහිටවූ ලෝක වාර්තාව ද තවත් නැගී එන කෙටි දුර ධාවන ශූරයකු වන බොස්ට්වානා ජාතික Letsile Tebogo විසින් පසුගිය සෙනසුරාදා (17) දිනයේ දී බිඳ හෙළීමට සමත් වුනා.

දකුණු අප්‍රිකාවේ Pretoria හිදි පැවැත්වුණු ධාවන තරගාවලියක දී තත්පර 30.69ක කාලයක් වාර්තා කරමින් මෙම ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට Tebogo විසින් සමත් වුනා. ඒ අනුව Niekerkගේ ධාවන කාලය (30.81) මෙම ඉසව්වේ දෙවැනි හොඳම ධාවනය ලෙස වාර්තාවල සටහන් වනු ඇති. එමෙන්ම ඉන් පසුව එහි තෙවන ස්ථානයේ හිටපු ඇමරිකානු ජාතික ලෝක ශූර Michael Johnsonගේ (30.85) සහ සිව් වන ස්ථානයේ හිටපු ලෝක ශූර Usain Boltගේ (30.97) නම් සටහන් වී තිබීමෙන් Tebogoගේ මෙම නව ලෝක වාර්තාවට හිමි වන වටිනාකම තවත් ඉහළ දැමීමට සමත් වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

World Athletic ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<