KGF සැණකෙළිය Pooran නිමා කරයි; අවසන් පන්දුවේ ජය ලක්නව්ට!

2308
Royal Challengers Bangalore vs Lucknow Super Giants

බැංගලෝරය සතු සුපිරි පිතිකරණ ත්‍රිත්වය වන Kohli, Glenn Maxwell සහ Faf Du Plessisගේ නම් වල මුලකුරු එක් කරමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔවුන්ව හඳුන්වන්නේ ජනප්‍රිය සිනමාපටයක නම වන KGF ලෙසයි.

ඊයේ (10) ඔවුන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් ලබා දුන් ලකුණු 200කට අධික ඉලක්කය Nicholas Pooranගේ අතිප්‍රවේගකාරී අර්ධ ශතකයේ උදව්වෙන් හඹා යාමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකි වුනා. ඒ තරගයේ අවසන් පන්දුවේ දීයි.

බැංගලෝර් බල ප්‍රදේශය වන එම් චින්නස්වාමි පිටියේ දී පැවැත්වුනු මෙම තරගය දැකබලා ගැනීමට අනුෂ්කා ශර්මා ඇතුළු RCB ප්‍රේක්ෂකයින් අතුරු සිදුරු නැතුව ක්‍රීඩාංගණය වසාගෙන සිටියා. එහි දී කාසියේ වාසිය දිනා ගත් ලක්නව් නායක KL Rahul මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝරයට ලබා දෙන්නේ KGF සැණකෙලියකට වේදිකාව විවර කරමිනුයි.

ප්‍රේක්ෂකයින්ගේ නොමද සහය මැද ඉනිම ඇරඹූ Virat Kohli සහ Faf Du Plessis ඊයේ පළමු කඩුල්ලටම ලකුණු 96ක් එකතු කළා. Kohli ඊයේ තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලෙස පන්දු 44කින් ලකුණු 61ක් ලබා ගත්තා. ඒ හතරේ පහර සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින්.

කෙසේ නමුත්, විස්තර විචාරක කුටීරයේ සිටි Simon Doullගේ වාග් ප්‍රහාරයක් Kohliගේ ලකුණු වේගය විවේචනය කරමින් එල්ල වුනේ අවසන් ප්‍රතිඵලය ගැන ඉවෙන් මෙන් දැනගෙන විය යුතුයි.

බැංගලෝර් නායක Faf Du Plessis ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 46කින් නොදැවී ලකුණු 79ක් රැස් කළා. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 5කින් හැඩ ගැන්වුනා. ඉනිමේ අවසානය වඩාත් රසවත් කළ Glenn Maxwell ඊයේ තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට වැය කළේ පන්දු 24ක් පමණයි. ඉනිම අවසන් වන විට ඔහු පන්දු 29කින් ලකුණු 59ක් ලබා සිටියේ හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් එල්ල කරමින්.

මේ අනුව බැංගලෝර් ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු 100%ක්ම සපුරා දුන් RCB ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 212ක් දක්වා ප්‍රසාරණය වුනා. පන්දු යැවීමේ දී Avesh Khanට එරෙහිව ලකුණු 53ක්ම උදුරා ගැනීමට බැංගලෝරයට හැකි වුනා.

තමන් දේවත්වයෙන් අදහන ක්‍රීඩකයින් තිදෙනාම අර්ධ ශතක වාර්තා කිරීමේ ප්‍රීතියෙන් පිනා ගොස් සිටි RCB රසිකයින් කිසිසේත් මෙම තරගය පරාජය වනු ඇතැයි සිහිනෙකින්වත් සිතුවේ නැහැ.

ලක්නව් ඉනිම ආරම්භයේ සිටම හොඳ අභියෝගයක් එල්ල කරන්නට Mohommed Siraj ඇතුළු RCB වේගපන්දු යවන්නන්ට හැකි වුනා. Siraj යැවූ පළමු පන්දුවාරයේ දී ම නම් දැරූ ප්‍රහාරකයෙකු වන Kyle Mayersගේ පිත්තේ යටි අග්‍රයේ වැදුණු පන්දුව ඔහුගේම කඩුල්ල වෙතට ඇදී ගියේ ලක්නව් කඳවුර තැති ගන්වමින්. David Willey අනෙක් අන්තයෙන් Sirajට හොඳ සහයක් ලබා දුන්නා.

වෙහෙසකර ගුවන් ගමනකින් පසු Josh Hazlewoodගේ අඩුව පිරවීමට කණ්ඩායම සමඟ එක්වූ Wayne Parnell අද තම පළමු පන්දුවාරයම සාර්ථක කර ගත්තේ Deepak Hooda සහ Krunal Pandya පිටියෙන් ඉවත් කරමින්. මේ අනුව ලක්නව් ඉනිම ලකුණු 23ට කඩුලු 3ක් බිඳ වැටී අසරණ වුනා. වේගයෙන් පන්දුවට පහර දීමට එතරම් හැකියාවක් නැති KL Rahul මෙවැනි දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ දී පවා පන්දු 20කින් රැස් කළේ ලකුණු 18ක් පමණයි!

කණ්ඩායමේ තුරුම්පු 3ක් නිෂ්ක්‍රීය මොහොතක පිටියට පිවිසි Marcus Stoinis තමන්ට ලැබෙන පන්දු 6 සීමාව වෙත හරවා යවමින් අමුතුම සෙල්ලමක් ආරම්භ කළා. අවසන් ඉලක්කය ගැන නොතැකූ ඔහුට අවශ්‍ය කළේ හැකි උපරිම ලකුණු වේගයක් පවත්වා ගැනීම පමණයි. ඔහු හමුවේ බැංගලෝර් කණ්ඩායමේ Impact Player ලෙස කණ්ඩායමට ඇතුළත් වූ Karn Sharma සහ Harshal Patel දැඩි ප්‍රහාරයකට හසුවුනා.

මේ අනුව Stoinis පන්දු 30කින් ලකුණු 65ක් ලබා වීරයෙකු මෙන් ක්‍රීඩාගාරයට හැරී යන්නේ ලක්නව් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් කුඩා දොරටුවක් විවර කරමින්. ඉන්පසු පිටියට පිවිසි Nicholas Pooran නැවතත් බැංගලෝර් පන්දු යවන්නන්ට අත දිගහැර පහර දීම ආරම්භ කරන්නේ සිහිනයක් මෙන් පෙනුණු ජය කණුව කරා තම කණ්ඩායම තනිවම ඔසවාගෙන යමිනුයි.

Pooran ඊයේ පන්දු 15කින් තම අර්ධ ශතකය වාර්තා කළේ සෑම IPL ක්‍රීඩක වෙන්දේසියක දී ම කණ්ඩායම් හිමිකරුවන් තමන් මිල දී ගැනීමට පොරකන හේතුව පැහැදිලි කරමින්. මෙය මෙවර IPL තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයයි. පන්දු 19කින් ලකුණු 65ක් රැස් කළ Pooran ඒ අතරේ අලංකාර හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් එල්ල කළා. ඒ අතරට Harshal Patelට අවසන් මොහොතේ විදුලි වේගයෙන් එල්ල කළ පුල් පහර අතිසුවිශේෂී හයේ පහරක් ලෙස සැලකිය හැකියි.

>> WATCH – නවසීලන්ත තරගාවලිය අවසන්; අයර්ලන්ත අභියෝගය කෙසේ වේවිද? – #NZvSL #SLvIRE – Expert Analysis

18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Mohommed Siraj අවසානයේ බැංගලෝරයේ හිසරදය නිමා කරන්නට සමත් වුනත්, ඒ වන විට පන්දු ගණනට ලකුණු ගණනක් අවශ්‍ය වන තැනට ලක්නව් ඉනිම ගෙන ඒමට Pooran සමත් වී තිබුණා. මේ අතරේ ලක්නව් ඉනිම සුරැකිව ජයග්‍රහණය කරා ගෙන යාමට සිටි Ayush Badoni එල්ල කළ පැඩ්ල්-ස්වීප් පහරක් හයේ සීමාව වෙත පියඹා ගිය ද, ඔහුගේ පිත්ත යන්තමින් කඩුල්ලේ දැවටීම නිසා Hit-Wicket දැවී යාමකට ලක්වුනා!

මේ අනුව කඩුලු 7ක් දැවී සිටි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් අවශ්‍ය කළා. එය යැවීමට භාර වන්නේ IPL වෙන්දේසියේ දී බොහෝ විට අධිතක්සේරුවට ලක්වන Harshal Patelටයි. තමන් මුල් පන්දුවාර 3 දී ම සිදු කළ වැරදි සෑහෙන දුරකට මග හරවා ගත් Harshal මුල් පන්දු 5 දී කඩුලු 2ක් දවා ගන්නේ ලක්නව් පසුපෙළ පිතිකරුවන්ට ලකුණු 4ක් පමණක් ලබා දෙමින්.

අවසන් පන්දුවේ දී ඔහුට පන්දුව යැවීමටත් පෙර අපරීක්ෂාකාරී ලෙස ඉදිරියට දිව යාමට උත්සාහ කළ Ravi Bishnoiව මන්කාඩ් කිරීමට පහසු අවස්ථාවක් ලැබුනත්, අඟලක දුරින් ඔහුට පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල බිඳ දැමීමට නොහැකිව මග හැරුණා. එසේ නොවන්නට ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් කරා යාමටද සිදු වනු ඇති.

නැවතත් යැවූ අවසන් පන්දුවේ දී Avesh Khanට කිසිදු පහරක් එල්ල කරන්නට නොහැකි වුනත් කඩුලු රකින Dinesh Karthikට පන්දුව කෙලින්ම කඩුල්ල එල්ල කරන්නට නොහැකි වීම නිසා ඔවුන් ජයග්‍රාහී ලකුණු සම්පූර්ණ කර ගත්තා.

ඒ තවත් අමතක නොවන සොඳුරු IPL තරගයක් ඉතිහාසයට එක් කරමින්. තරගයේ වීරයා ලෙස රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම අත තිබූ ජයග්‍රහණය උදුරා ගත් Nicholas Pooran සම්මාන ලැබුවා.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – කඩුලු 2ක් දැවී ලකුණු 212 (පන්දුවාර 20): Faf du Plessis 79*, Virat Kohli 61, Glenn Maxwell 59, Amit Mishra 1/18, Mark Wood 1/32.

ලක්නව් සුපර් ජයන්ට්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 213 (පන්දුවාර 20): Marcus Stoinis 65, Nicholas Pooran 62, Ayush Badoni 30, KL Rahul 18, Mohommed Siraj 3/22, Wayne Parnell 3/41, Harshal Patel 2/48.

මෙවර IPL තරගාවලියේ මේ දක්වා කිසිදු ජයක් ලබා නොගත් කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය අද (11) රාත්‍රී 7.30ට ආරම්භ වනවා. එය සජීවීව නැරඹීමට ThePapare.com පරිශීලක ඔබට අප අවස්ථාව උදාකර තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<