පාපන්දු ලෝකයේ නොනවතින උත්සාහයේ සහ කැපවීමේ සජීවී ප්‍රතිමූර්තිය… විවේචන, හැල හැප්පීම්, බාධක මැදින් පාපන්දු ලෝකයේ තම නාමය ඉහලටම රැගෙන යන විශිෂ්ටයා, කතා කරමු Harry Kane ගැන.
ලෝක මට්ටමේ ජයග්‍රහණයක් කියන්නේ එක රැයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය පරාජයන් දහස් ගණනකින් ඔපමට්ටම් වුණ නොනවතින අරගලයක ප්‍රතිඵලයක්.
එහෙම අරගලයක යෙදිලා, ප්‍රතික්ෂේප වීම්, පරාජයන්, ජයග්රහණයන් මැද නිහඬව ඉදිරියට යමින්, දශක ගණනකට පසුව එංගලන්තයට වගේම ජර්මනියේ බයර්න් මියුනික් ක්‍රීඩා සමාජයටත් ස්වර්ණමය කීර්තියක් අත්කර දුන්, පාපන්දු ලෝකයේ තවත් විශිෂ්ටයෙක් ගැන The Greats තුළින් අද අපි කතා කරමු.
ඔහු නමින් Harry Edward Kane. 1993 ජූලි 28 වන දින එංගලන්තයේ ලන්ඩන් හි ලේටන්ස්ටෝන් වලදී උපත ලැබූ කේන් කුඩා කාලයේ සිටම නිවස අසල ක්‍රීඩා පිටි වල සහ පාරවල් වල පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නට හුරු වී සිටියා.
හැරී කේන් කුඩා කාලයේදී Arsenal Youth ඇකඩමියට එකතු වුණත් ටික කාලයකට පසු ඔවුන් මොහුව ගැළපෙන්නේ නැති බව පවසමින් ඉන් ඉවත් කරනු ලැබුවා. Arsenal වගේම තවත් ප්‍රධාන පෙලේ පාපන්දු සමාජ කිහිපයකින්ම “ඔයාට පාපන්දු ක්‍රීඩා කරන්න බැහැ” කියලා හැරීව තම ක්‍රීඩා සමාජ තුළට එක් කර ගැනීම ප්‍රතික්ෂේප කළා.
එහෙත් මේ සියළු ප්‍රතික්ෂේප වීම් මැද, හැරීට වයස අවුරුදු 11ක් වෙද්දී Tottenham Youth ඇකඩමිය සමඟ එක්වන්න හැරී කේන්ට අවස්ථාව ලැබෙනවා. එම එක්වීම පුංචී කේන්ගේ පාපන්දු ජිවීතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කිරීමට සමත් වෙනවා.
වසර ගණනාවක පුහුණුවීම් වලින් අනතුරුව 2010 වසරේදී Tottenham ප්‍රධාන කණ්ඩායම සමඟ සිය පළමු වෘත්තීය ගිවිසුම අත්සන් කලත්, ප්‍රධාන කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගන්න සෑහෙන්න අරගලයක යෙදෙන්න ඔහුට සිදු වෙනවා. එහි ප්‍රතිඵලය ලෙස තරුණ කේන්ට තවත් අත්දැකීම් ලබා ගැනීම සඳහා තාවකාලිකව වෙනත් ක්‍රීඩා සමාජ වෙත යොමු කෙරුණා. මෙලෙස ඔහු Leyton Orient, Millwall, Norwich City, Leicester City වැනි පාපන්දු සමාජ වෙත loan පහසුකම යටතේ ක්‍රීඩා කළා.
බොහෝ දෙනෙක් විශ්වාස කළේ කේන්ගේ ක්‍රීඩා දිවිය ආරාම්භයේදීම එය අවසන් වී යාවී කියායි. එහෙත් මේ සියළු කටුක අත්දැකීම් වලට නිහඬව මුහුණ දෙමින් එයින් තවත් ශක්තිමත්ව අළු ගසා නැගිටින්න හැරී කේන් සමත් වුනා. මේ විදියට වෙනත් ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා කරමින් යළි තම මව් ක්‍රීඩා සමජය වෙත ආගමනය වන හැරී කේන් පාපන්දු ලෝකය තුළ විශාල පිපිරීමක් ඇති කරවීමට සමත් වන්නේ 2014 – 15 Premier League තරගවාරය තුළ Tottenham කණ්ඩායම තුල ස්ථානයක් වෙන්වීමත් සමඟයි. එතෙක් පාපන්දු ලෝකයේ සාමාන්‍ය නාමයක්ව පැවති කේන්ගේ නාමය 2014 – 15 තරඟවාරය නිම වන විට කරළියට පැමිණෙන්නේ ඔහු විසින් සමස්ත තරඟ 51ක් ක්‍රීඩා කරමින් ගෝල 31 ලබාගැනීමත් සමඟයි. ඉන් Premier League තරඟ 34කදී හැරී කේන් ගෝල 21ක් ලබා ගන්නේ එවර දෙවන වැඩිම ගෝල ලභියා බවටද පත් වෙමින්.
ඔහු දැක්වූ මේ සුවිශේෂී දක්ෂතාවය නිසා එංගලන්තයේ මෙන්ම සමස්ත යුරෝපය පුරාම හැරී කේන් නාමය ප්‍රසිද්ධියට පත් වුනා. එමෙන්ම ඔහු එම තරඟවාරයේදී PFA වසරේ හොඳම තරුණ ක්‍රීඩකයා සම්මානය දිනාගත් අතර, ප්‍රිමියර් ලීගයේ මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මාන දෙකක්ද හිමි කර ගන්නට සමත් වුණා.
මේ සමගම සෑම පාපන්දු ක්රීඩකයෙකුගේම හිතේ උඩින්ම රැඳිලා තිබෙන සිහිනයක් හැරී කේන් හට සැබෑ වුනා. ඒ තම ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වීම යි. 2015 මාර්තු 27 වැනි දා තම මංගල තරඟය යුරෝ කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයකදී ලිතුවේනියාවට එරෙහිව ක්‍රීඩා කරන හැරී කේන් තරගයේ 71 වන විනාඩියේදී තම කණ්ඩායම හා එක්ව තත්පර 80ක් ඇතුළත තම මංගල ජාත්‍යන්තර ගෝලය වාර්තා කර ගැනීමට සමත් වෙනවා.
ජාතික කණ්ඩායමට පැමිණ දිනෙන් දින වර්ධනය වන දක්ෂතා සහ නායකත්ව ගුණාංග දෙස අවධානය යොමු කරන එංගලන්ත පාපන්දු පරිපාලනය තම කණ්ඩායමේ ඉදිරි අනාගතය සහ ක්‍රීඩකයන්ගේ වගකීම කේන්ගේ උරහිස මත පටවන්නේ කණ්ඩායමේ නිත්‍ය නායකත්වය ඔහුට ලබා දෙමින්. ඒ වගකිම නිසි ලෙස ඉටුකරමින් ඉදිරියට යන මේ එංගලන්ත ගෝල මැෂිම රුසියාවේදි පැවැත්වුණු 2018 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී එංගලන්ත කණ්ඩායමේ බර අදිමින් අවසන් පුර්ව වටයට තම කණ්ඩායම රැගෙන යාමට සමත්වුණා. එහිදී හැරි ප්රමුඛ එංගලන්ත කණ්ඩායම ක්‍රොඒෂියාව හමුවේ ගෝල 2 – 1 ක අමිහිරි පරාජයක් විඳ ගත්තත්, පාපන්දුවේ වැජඹෙන ලියොනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි විශිෂ්ටයන් සතුව නොමැති ජයග්‍රහණයක් දිනා ගැනීමට හැරී කේන් සමත් වුනා. ඒ 2018 ලෝක කුසලානය තුල ගෝල 06ක් ලබා එම තරඟාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව දිනා ගනිමින්.
එමෙන්ම 2015 -16, 2016 – 17, 2020 – 21 Premier League තරඟාවලි තුළත් වැඩිම ගෝල ලාභියා බවට පත් වෙමින් තෙවතාවක් Premier League රන් සපත්තුව දිනා ගැනීමටද මොහු සමත් වෙනවා.
මෙලෙස තම ජාතික කණ්ඩායම සහ ක්‍රීඩා සමාජය සමඟ ඉදිරියටම ගමන් කරන කේන් ඉතිහාසයේ පළමු වරට Tottenham කණ්ඩායම Champions League තරඟාවලියේ අවසාන මහ තරඟය දක්වා රැගෙන එමට සමත් වුනා, එහෙත් Liverpool හමුවේ ගෝල 2 – 0 පරාජයක් ලැබූ කේන් ප්රමුඛ Tottenham කණ්ඩායම, කෙතරම් හොඳට තරඟ බිමේ ක්‍රීඩා කළත් අවසන් කඩුල්ල පැන ගැනීමේ වාසනාව නොමැති කණ්ඩායමක් ලෙස ප්‍රේක්ෂකයන් තුල යළිත් කතා බහක් ඇති කළා.
එසේම යළිත් මේ අවාසනාව හැරී කේන් වටා කැරකැවෙමින්, 2021 වසරේදී තම මව් රටේ පැවති යූරෝපා ශූරතා අවසාන මහා තරඟයේදී, ඉතාලිය හමුවේ දඬුවම් පහර 3 – 2 ක අමිහිරි පරාජයක් අත්විඳ ගනිමින් අනුශූරයන් ලෙස තරඟාවලිය නිම කිරීමට සිදුවුණා. එසේම 2024 වසරේදීත් ස්පාඤ්ඤය සමඟ යුරෝපා ශූරතාවයේ අවසාන මහා තරඟයට මුහුණදුන් හැරී කේන් ප්රමුඛ එංගලන්තයට, පිට පිට දෙවනි වතාවටත් යුරෝපා අනුශුරයින් ලෙස සෑහීමට පත්වන්නට සිදුවුණා.
හැරී කේන් පාපන්දු ලෝකය තුළ විවේචනයට භාජනය වුනේ වසර ගණනාවක් මුළුල්ලේ තමා ක්‍රීඩා කරන එංගලන්ත ජාතික කණ්ඩායම සහ Tottenham ක්‍රීඩා සමාජය සමඟ කිසිඳු දිනෙක ප්‍රධාන පෙළේ ජයග්‍රහණයක පහස විඳ ගැනීමට නොහැකි ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු පාපන්දුව තුල ශාපලත් අයෙකු බව සමහරෙක් විශ්වාස කලා. ඔහු ක්‍රීඩා කරන කිසිඳු කණ්ඩායමක් කිසිදා ප්‍රධාන පෙලේ ජයග්‍රහණ නොලබන බව බොහෝ දෙනා මත පල කලා.
එහෙත් සැබෑ සත්‍යය නම් හැරී කේන් තම ජාතික කණ්ඩායම සහ ක්‍රීඩා සමාජය වෙනුවෙන් උපරිම කැපවීමක්, දායකත්වයක් ලබා දුන්නත් ජයග්‍රහණයක්, කුසලානයක් කරා ගමන් කරන්න ඔහුට සහයෝගයක් ලබා දීමට අනෙකුත් ක්‍රීඩකයින් අපොහොසත් වීමයි. එහි ප්‍රතිඵලය වුනේ කණ්ඩායම් ද්විත්වයේම බර තනිව ඉදිරියට රැගෙන ආ හැරී කේන් අපහාස උපහාස වලට ලක් වීමයි. එහෙත් මේ සියළු දේට නිහඬව, තම දක්ෂතාවයෙන් පිළිතුරු දුන් එංගලන්ත ප්‍රහාරකයා සාර්ථක විසඳුමක් සොයා ගැනීමට සමත් වුනා. ඒ තම ක්‍රීඩා දිවියේ බොහෝ කැප කිරීම් සිදුකල, උත්සහයන් රැසක් දැක්වූ, ක්‍රීඩා දිවියෙන් බොහෝ කාලයක් ගත කල Tottenham කණ්ඩායම සමඟ පැවති ගිවිසුමේ අවසානයට පැමිණීමත් සමඟ, ජර්මනියේ Bayern Munich ක්‍රීඩා සමාජය සමඟ යූරෝ මිලියන 100 ක දැවැන්ත මුදලකට ගිවිසුම් ගත වීමයි. ඒ Bundesliga ඉතිහාසයේ කණ්ඩායමක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් යෙදවූ ඉහලම මුදල් ප්‍රමාණය ලෙසත් ඉතිහාසයට එක් වුනා.
එයින් පැහැදිළි වන්නේ Bayern Munich කළමණාකාරීත්වය කේන්ගේ දක්ෂතාවය සහ වටිනාකම පිලිබඳව කෙතරම් සැලකිල්ලක් දැක්වුවා ද යන්නයි. Bayern Munich සමඟ ආරම්භ කල පළමු තරඟ වාරයේම තමා වෙත තැබූ විශ්වාසයට උපරිම සාදාරණයක් කල කේන් තරඟ 45කදී ගෝල 44ක් රැස් කරමින් යුරෝපයේ වැඩිම ගෝල ලාභියාට හිමි යුරෝපිය රන් සපත්තුව දිනා ගැනීමට සමත් වුනා. එහෙත් අනික් පසින් කේන් පසුපස පැමිණි අවාසනාව නැවත හිස ඔසවන්නේ, ජර්මානු පාපන්දු ලීගයේ 11 වසරක් මුළුල්ලේ අණසක පතුරුවාගෙන අඛණ්ඩව Bundesliga ශූරතාවය දිනු Bayern Munich කණ්ඩායම කේන්ගේ එක් වීමත් සමඟ ලීගයේ තෙවෙනි තැනට ඇද දමමින්.
මෙයින් පසු හැරී කේන්ගේ ශාපය Bayern Munich කණ්ඩායම වෙතටත් එල්ල වී ඇති බව ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වුණා. කෙසේ වුවත් මේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් හැරී කේන් තම කුසලාන ඉඩෝරය නිමා කරන්නේ 2024 – 25 Bundesliga ශූරතාව ජය ගනිමින්, තම ප්‍රථම ප්‍රධාන පෙලේ කුසලානය ජයග්‍රහණය කිරීම සමගයි. ඉන්පසු 2025 – 26 තරඟවාරය තමන්ගේම කර ගත් හැරී කේන්, Bayern Munich කණ්ඩායම සමඟ දේශීය කුසලාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වනවා. ඒ, Bundesliga, DFB-Pokal සහ DFL-Supercup කුසලාන ත්‍රිත්වයයි.
එමෙන්ම එම තරඟවාරයේදී වසරේ හොඳම ඉදිරිපෙළ ප්‍රහාරකයා, වැඩිම ගෝල ලාභියාට හිමි වන Gerd Muller සම්මානයත්, යුරෝපයේ වැඩිම ලීග් ගෝල ප්‍රමාණයක් රැස් කරන ක්‍රීඩකයාට හිමි යුරෝපිය රන් සපත්තුවත් නැවත වරක් ජයග්‍රහණය කිරීමට හැරී කේන් සමත් වන්නේ බොහෝ කාලයක් තිස්සේ ඔහු කළ කැපවීම් වල ප්‍රතිඵල විදිහටයි.
එංගලන්ත ජාතික කණ්ඩායමේ වැඩිම ගෝල ලාභියාගේ වාර්තාව තම නම ඉදිරියෙන් ලියා ගෙන ඇති හැරී කේන්, එංගලන්තය වෙනුවෙන් තරඟ 125 කදී ගෝල 91ක් ලබා ගෙන ඇති අතර, 2018, 2022, 2026 ලෝක කුසලාන තරඟාවලී තුල තරඟ 18කදී ගෝල 14ක් ලබා ගෙන ඇත්තේ, ලෝක කුසලානයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයාගේ වාර්තාවට ද හිමිකම් කියමින්.
ක්‍රීඩා සමාජ පැතිකඩ ගත් කල Tottenham වෙනුවෙන් සමස්ත තරඟ 435 දී ගෝල 280 ක් ලබා ගෙන ඇති අතර, වර්තමානයේ ක්‍රීඩා කරන ජර්මනියේ Bayern Munich කණ්ඩායම සමග දැනට තරඟ 160දී ගෝල 156ක් ලබා ගෙන තිබෙනවා. සමස්ත තරඟ 660දී ගෝල 452ක් වාර්තා කර ගැනීමට හැරී කේන් නම් මේ ඉදිරිපෙළ ප්‍රහාරකයා සමත් වී තිබෙනවා.
2026 පාපන්දු ලෝක කුසලානයට තම කණ්ඩායම සමඟ පැමිණි කේන්, මෙවර අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව සමඟ පැවති තරඟයෙන් ගෝල 2-1 අමිහිරි පරාජයක් විඳ ගැනීමට සිදු වුනා. එහෙත් ඔවුන් ලෝක කුසලාන තරඟාවලිය අවසන් කලේ එංගලන්ත නාමය තුන්වන ස්ථානයේ රඳවමින්, එම දස්කම වසර 36කට පසුව සිදුවීමත් විශේෂයක්.
පසුගිය මාසය දෙස හැරී බැලූවිට හැරී කේන් නැවත වතාවක් තමන්ගේ නාමය පාපන්දු ලෝකය තුළ ඉහල නංවන්නේ, සෑම පාපන්දු ක්රීඩකයෙකුගේම සිහිනය වන වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට පිරි නමන 2026 Ballon d’Or සම්මානය ජයග්‍රහණය කිරීමත් සමඟයි. 2001 වසරේ Michael Owen ගෙන් පසු, වසර 25කට පසුව එංගලන්තයට මෙම ජය ලබාදුන් කේන්, ඩේවිඩ් බෙකම්, වේන් රූනි, ෆ්රැන්ක් ලැම්පාර්ඩ්, ස්ටීවන් ජෙරාඩ් වැනි ලෝක මට්ටමේ තරු වලට පවා ලබා ගැනීමට නොහැකි වූ මේ ජය තමන් සතුකරගත්තා.
එමෙන්ම පසුගිය දශක කීපය තුල ලෝක මට්ටමේ තරු බොහෝ ප්‍රමාණයක් Bayern Munich තුළින් බිහි වුණත්, ඔවුන් ද අවසන් වරට Ballon d’Or සම්මානයක් ජයග්‍රහණය කර තිබුණේ 1981 වසරේදී. Bayern Munich කණ්ඩායමට ශාපය ගෙන ආවා යැයී රසිකයන් විශ්වාස කළ හැරී කේන් විසින් තම ක්‍රීඩා සමාජයට මෙවැනි ගෞරවාන්විත සම්මනයක් හිමි කර දීම විශේෂත්වයක්. හැරීගේ 2026 Ballon d’Or ජයග්‍රහණය සුවිශේෂි ඓතිහාසික ජයග්‍රහණයක් වන්නේ ඒ නිසයි.
අවාසනාව මැදින් වාසනාව ගෙන ආ එංගලන්තයේ මෙන්ම ලෝකයේ අංක එකේ ප්‍රහාරකයෙකු වන හැරී කේන්ගේ ඉදිරි ගමන කෙසේ ලියැවේවි ද? එංගලන්තය සමඟ කුසලානයක පහස විඳිමින් එංගලන්තයේ කුසලාන ඉඩෝරය මඟ හරින්නට හැරී කේන්ට අවස්ථාව ලැබේවිද? අපි බලා සිටිමු, ලන්ඩන් නුවරින් ආ මේ දීඝජන්තු ප්‍රහාරකයා තවත් වාර්තා කීයක්, කුසලාන කීයක් තම නම ඉදිරියේ ලියා ගනීවි ද කියා. හැරී කේන්, පාපන්දු ලෝකයේ අනාගතය කෙසේ වෙනස් කරාවි ද කියා.






















