“ආයිත් නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම්!” BCBයෙන් සහතිකයක්

Dhaka Premier League තරගාවලිය 2021

188

මැයි මස 31 වනදා ආරම්භ වීමට නියමිත Dhaka Premier League තරගාවලියේ දී නිරෝධායන නීතිරීතින් කඩ කරමින් ජෛව-ආරක්ෂිත බුබුළු තුළ ඊට පටහැනිව කටයුතු කරන ක්‍රීඩකයින්, නිලධාරින් ඇතුළු ඕනෑම අයෙකුට එරෙහිව දැඩි දඬුවම් කිරීමට කටයුතු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.  

අද (27) දින මෙම තරගාවලියේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් සූදානම් කිරීමට එරට ක්‍රිකට් ආයතන ප්‍රධානින් කටයුතු කර තිබූ අතර එරටින් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟම අතහැර දැමීමට සිදුවූ Nation Cricket League තරගාවලිය වෙනුවට මෙම දේශීය විස්සයි විස්ස තරගාවලිය දියත් කිරීම වඩාත් කාලෝචිත තීරණයක් බව එහිදී ඔවුහූ සඳහන් කර සිටියහ. 

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 12ක ක්‍රීඩකයින් සහ සහයක කාර්‍ය මණ්ඩල නිලධාරින් සියලුදෙනාම හෙට (28) දිනයේ දී නගර හතරක දී තම කණ්ඩායම් වලට අදාළව ජෛව-ආරක්ෂිත බුබුළු නිර්මාණය කරගැනීමට සූදානමින් පසුවේ. මෙම යාන්ත්‍රණය අඩුපාඩුවකින් තොරව ක්‍රියාවට නැංවීම සඳහා BCBය මේ වන විටත් බංග්ලාදේශ ටකා කෝටි 6ක මුදලක් වියදම් කර ඇති බව වාර්තා වේ. 

මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා BCBය සමඟ සම්බන්ධවී කටයුතු කරන Dhaka Metropolis ක්‍රිකට් කමිටුවේ ලේකම් Ali Hossain මහතා ඉතාමත් පැහැදිලිව සඳහන් කර සිටියේ ජෛව-ආරක්ෂිත බුබුළු තුළ පවතින නීතිරීතින්ට පටහැනිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව දඩ මුදල් නියම කිරීම්, තරග තහනම් කිරීම් වැනි විනය ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට පසුබට නොවන බවයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“අපි මේ වැඩපිළිවෙල ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය නිසා, පත්කරලා තියෙනවා විශේෂ covid-19 විනය කමිටුවක්. සෞඛ්‍යාරක්ෂක නීති කඩකිරීම් පිළිබඳව කටයුතු කිරීමේ බලය අපි ඔවුන්ට භාර කරලා තියෙනවා.” 

මීට අමතරව මෙම තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රීඩකයින් අතුරින් ටකා ලක්ෂ 10කට අධික වැටුප් ලබන ක්‍රීඩකයින්ගේ තරගාවලි ගෙවීම් වලින් 20%ක ප්‍රමාණයක් කපා හැරීමට සංවිධායක කමිටුව තීරණය කර තිබෙන්නේ වත්මන් තත්වය හමුවේ ක්‍රීඩා සමාජයන් වලට ආර්ථිකමය අතින් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන නිසාවෙනි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ද ඔවුන්ගේ එකඟතාව පළකර සිටි බව Hossain මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

ක්‍රීඩකයින් සහ කාර්‍ය මණ්ඩල නිලධාරින් 300කට අධික පිරිසක් සඳහා මේ වන විට PCR පරීක්ෂණ සිදුකර අවසන්ව ඇති අතර ඉන් නවදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අදාළ පිරිස් දැනටමත් හෝටල් පරිශ්‍රයන්හි වෙනම හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එම නිසා යම්හෙයකින් ඉදිරියේ දී මෙවැනි තත්වයන්ගෙන් බාධා පැමිණියහොත් ඊට සුදුසු ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට තමන් සූදානමින් සිටින බවද තරගාවලි සංවිධායක කමිටුවේ ලේකම් Hossain මහතා සඳහන් කර තිබුනි. 

මෙම තරගාවලියේ පසුගිය තරගවාරය (2019/20) covid-19 වසංගතයේ බලපෑම හමුවේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර පන්දුවාර 50 තරග ආකෘතිය වෙනුවට පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් බවට පරිවර්තනය කරමින් නව තරගවාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කර අවසන්ව ඇති බව වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<