ක්‍රීඩක කොන්ත්‍රාත් ගැන අරවින්දගෙන් ප්‍රකාශයක්

185

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත් පසුගිය දා නිවේදනය කරනු ලැබුවා. නව ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්වූ අරවින්ද ද සිල්වා මහතාගේ සහ නව ක්‍රිකට් පරිපාලනයේ යෝජනාවක් අනුව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම් වූ ගෙවීම් ක්‍රමයක් සකස් කෙරුණා.

කෙසේ වෙතත් මෙම නව කොන්ත්‍රාත් ගෙවීම් සඳහා තමන් එකඟ නොවන බව ක්‍රිකට් ක්‍රීඩකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින් පසුගිය දා පවසා සිටියා. 

ක්‍රීඩකයන් සිය කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ මෙම නව ක්‍රමය විනිවිදභාවයකින් තොර බවයි. එහි දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් පවසා සිටියේ මෙම නව ක්‍රමය ජ්‍යේෂ්ඨත්වය සහ අත්දැකීම් මත පදනම් නොවී අනාගත ආයෝජනය පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවීම් පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු ක්‍රීඩකයන් ඔවුන්ගේ අප්‍රසාදය පල කර තිබුණා.

කෙසේ වෙතත් මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පසුගිය දා අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ මෙම නව කොන්ත්‍රාත් ක්‍රමය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් නොමැති බවයි. 

මෙම නව කොන්ත්‍රාත් ක්‍රමය ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා පත්කළ තාක්ෂණික උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාවක් බවත්, එය සකස් කිරීමට නව ක්‍රිකට් අධ්‍යක්ෂ Tom Moody මහතා ද එක්වූ බව අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියා. මෙම නව කොන්ත්‍රාත් ක්‍රමය වත්මන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ පවතින ක්‍රමවලට අනුව සැකසූ බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.

“අපි මේ කොන්ත්‍රාත් ගැන ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කළා. ඊට පස්සේ තමයි මේක ක්‍රීඩකයන්ට ඉදිරිපත් කළේ. මීට කලින් තිබුණ ක්‍රමය වගේ නෙමෙයි. මේ නව කොන්ත්‍රාත් ක්‍රමයේ දී අපි ක්‍රීඩකයන්ගේ වරප්‍රසාද තුන් ගුණයකින් වැඩි කරලා තියනවා. ඒත් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම කණ්ඩායම් දක්ෂතාවය මත තීරණය වෙනවා. 

කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළොත් ඔවුන්ට පෙර හිමි වුනේ ඇමරිකානු ඩොලර් 50,000ක දීමනාවක්. ඒත් අපි ඒක දැන් ඇමරිකානු ඩොලර් 150,000 දක්වා වැඩි කරලා තියනවා. මේක කණ්ඩායමේම දක්ෂතාවය එක්ක ලැබෙන දෙයක්” අරවින්ද ද සිල්වා මහතා Daily News පුවත්පත සමඟින් එක්වූ සාකච්ඡාවක දී පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් මෙම දීමනාව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියේ ඔවුන්ට මෙම මුදල හිමිවන්නේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ සිටින කණ්ඩායම පරාජය කළහොත් පමණක් බවයි. 

ශ්‍රේණිගත කිරීම්වල පහළ සිටින කණ්ඩායම් සමඟින් පැවැත්වෙන තරගාවලි ජයග්‍රහණය කළහොත් ලැබෙන දීමනාව ඉහත දීමනාවට වඩා අඩු වන බව ඒ මහතා පවසා සිටියා. කෙසේ වෙතත් ශ්‍රේණිගත කිරීම්වල අංක 6 හෝ ඊට පහළ කණ්ඩායමක් සමඟින් පැවැත්වෙන තරගාවලි ජයග්‍රහණය කළහොත් කණ්ඩායමට හිමිවන අමතර දීමනාව මීට පෙර පැවති කොන්ත්‍රාත් ක්‍රමයේ දී ලැබෙන දීමනාවට වඩා අඩු අගයක් ගන්නවා.

මෙම ක්‍රමය එක්දින තරගාවලි සඳහා ද අදාළ වන අතර එහි දී ද ශ්‍රේණිගත කිරීම්වල පහළ සිටින කණ්ඩායම් පරාජය කිරීමේ දී හිමි වන ගෙවීම් ප්‍රමාණය අඩු වී තිබීම විශේෂත්වයක්.

“අපි මේ කොන්ත්‍රාත් ක්‍රමය යටතේ විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය කිරීමටත් දීමනාවක් ලබා දෙන්න තීරණය කළා. එහි උපරිමය ඇමරිකානු ඩොලර් 50,000ක්. මීට කලින් ක්‍රමයේ දී විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය සඳහා කිසිම ගෙවීමක් කළේ නැහැ.” 

ක්‍රීඩක කොන්ත්‍රාත් පිළිබඳව වඩාත් කතාබහක් ඇති වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ තරගාවලියේ පළමු තරග දෙක පරාජය වීමට හේතුව ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳවැටීම බවත් එයට ප්‍රධාන හේතුව මෙම ගෙවීම් ක්‍රමය බවත් වාර්තා වීම නිසාවෙන්. 

“මම හිතන්නේ දැන් වැදගත්ම දේ වෙන්නේ කණ්ඩායම තරගයට ගිහින් ධනාත්මකව ක්‍රීඩා කරලා රට වෙනුවෙන් තරග ජයග්‍රහණය කරන එක. ඔවුන් කරන්න ඕනේ තරග දිනන එක මිසක් මේ ගැන පැමිණිලි කරන එක නෙමෙයි.” 

“ක්‍රීඩකයන් ධනාත්මකව ක්‍රීඩා කළොත් අපිට තවත් දීමනා ගැන සලකා බලන්න පුළුවන්. අපේ කලාපයේ සමහර කණ්ඩායම් ඒ ක්‍රමය අනුගමනය කරනවා. කණ්ඩායමේ වටිනාකම හදාගන්න ඕනේ කණ්ඩායමමයි. එහෙම උනොත් ඔවුන්ට ලැබෙන දිරිගැන්වීම් වැඩි වේවි.”

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<