ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව අවසන් සටනට

Road Safety ලෝක ශූරතාවය 2022

416
Sri Lanka Legends vs West Indies Legends

වර්ෂාවේ තර්ජන ගර්ජන සහ තරග සංවිධානය ගැන ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වන නොයෙකුත් විවේචන හමුවේ ‘Road Safety ලෝක ශූරතාවය 2022’ තරගාවලිය මේ වන විට එහි අවසානයට ළඟා වෙමින් තිබෙනවා. එහි දෙවැනි අවසන් පූර්ව තරගය අද (30) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට තවත් අවසන් මහා තරගයක මිහිර විඳින්නට ඉඩ හසර උදාකර දෙමින්. ඔවුන් හමුවේ ලකුණු 14ක පරාජයක් ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායමයි.

රායිපූර් හි ශහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම සටනේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ කොදෙව් නායක බ්‍රයන් ලාරායි. ඒ අනුව ඔහු මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ තමන් සතු නමගිය පන්දු යවන්නන් යොදවා ශ්‍රී ලංකා පිළ මට්ටු කිරීමේ අදහස ඇතිවයි. නමුත් ලොව සුපතල පන්දු යවන්නන් ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ හොඳම කාල වල දී පවා තලා පෙළා ඇති සනත් ජයසූරිය ඉදිරියේ ඔවුන්ගේ සැලසුම් කණපිට හැරුනා.

පන්දු 19කින් වේගවත් ලකුණු 26ක් රැස් කළ ජයසූරියගේ දැවී යාමෙන් පසු කණ්ඩායම මහත් බලාපොරොත්තු තබා සිටි ඩිල්ෂාන් – තරංග යුගලය අද තනි ඉලක්කමට දැවී යාම ශ්‍රී ලංකාවට මරු පහරක් බවට පත්වුනා. එහි දී ලකුණු අතර සිටින ඩිල්ශාන්ට තම කඩුල්ල අහිමි වුනේ ජෙරම් ටේලර්ගේ අති විශේෂ යෝකරයක් හමුවේයි.

මේ මොහොතේ කණ්ඩායමේ පිහිටට ආවේ, දක්ෂතා අතර සිටියත් කිසිඳු දිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික වර්ණ දරන්නට වාසනාවන්ත නොවූ ඉශාන් ජයරත්නයි. පන්දු 19කට පමණක් මුහුණ දුන් ඔහු එක් හතරේ පහරක් සහ දැවැන්ත හයේ පහර 2ක් සමඟින් ඉක්මන් ලකුණු 31ක් රැස් කරගත්තා.

චාමර සිල්වාට අද අතීත දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූවත් තවමත් ලොව වටා ලීග් තරගාවලි ක්‍රීඩා කරමින් යන ජීවන් මෙන්ඩිස් පන්දු 15කින් ලකුණු 25ක් වාර්තා කරගැනීමට සමත් වුනා. ඒ කොදෙව් පන්දු බල ඇණියට එරෙහිව හතරේ පහර ත්‍රිත්වයක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්.

අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා සහ ඉසුරු උදාන යම් ආරම්භයක් ලබා ගත්ත ද එය විශාල ලකුණක් බවට පත් කරගන්නට සමත් වූයේ නැහැ. නමුත් නුවන් කුලසේකර අවසන් පිතිකරුවා දක්වා පල්ලම් බැස්සවීමට තරම් දීර්ඝ පිතිකරණ ගැඹුරක් සහිත ශ්‍රී ලංකා Legends පිළට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 172ක් රැස් කරගැනීමට හැකි වුනා. ඒ කඩුලු 9ක් දැවී තිබිය දීයි. පන්දු යැවීමේදී කෙටි ක්‍රීඩා දිවියකට හිමිකම් කියූ ක්‍රිෂ්මා සැන්ටොකී සහ දේවේන්ද්‍ර බිෂූ කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ලකුණු 173ක ඉලක්කය හඹා යමින් අවසන් තරගයේ අසුන වෙන් කරගැනීමට පිටියට පිවිසියේ ඩ්වේන් ස්මිත් සමඟින් නායක බ්‍රයන් ලාරායි. එහි දී දිවියේ සැඳෑ සමය ගෙවන ලාරා තමන්ට වඩා වසර 20ක් පමණ ලාබාල ඉසුරු උදානට පහර දෙන්නේ කලකට පෙර කොදෙව් ක්‍රීඩා ලෝලීන් වසඟයට පත් කළ තම කවර් ඩ්‍රයිව් පහර ආයුධය කර ගනිමින්.

එහි දී ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ලකුණු 400ක් රැස් කළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා වන බ්‍රයන් ලාරා මෙවර තරගාවලියේ 400 වැනි හතරේ පහර ද වාර්තා කිරීම අපූරු දෛවෝපගත සිදුවීමක්. කෙසේවෙතත් දිගින් දිගටම පිට ඉන්න දෙසින් ලකුණු සොයා ගිය ලාරාව වැඩි විනාශයක් කිරීමට පෙර මෙල්ල කිරීමට නුවන් කුලසේකර සමත් වුනා.

නමුත් අවශ්‍ය වේගය ද සහිතව ලකුණු 45ක වේගවත් සබඳතාවයක් ගොඩ නගමින් සිටි කොදෙව් පිළට පීඩනයක් එල්ල කිරීමට සමත් වූයේ මේ වනවිට 53 වැනි වියේ සිටින සනත් ජයසූරියයි. එහි දී පිටියෙන් ඉවත් වන්නේ ලකුණු 23ක් රැස් කරගෙන සිටි භයානක පිතිකරුවෙකු වන ඩ්වේන් ස්මිත්. ඉන් නොනැවතුනු ජයසූරිය තම ඊළඟ පන්දුවෙන් කර්ක් එඩ්වඩ්ස්ගේ පා ඉන්න බිම හෙලන්නේ ඔහුටම ආවේණික “කුඩා දරුවෙකු බඳු” කඩුලු සැමරීම ද මතකයට නංවමින්.

අනෙක් අන්තයෙන් නායක ඩිල්ශාන් ද කඩුල්ලක් බිඳ දමන්නේ ඈත අතීතයේ සිටම කොදෙව්වන් අපගේ ක්‍රීඩකයින් ඉදිරියේ පසුගාමී වූ අයුරු පුනරූපනය කරමින්. ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ එකම ඉනිම නර්සිං ඩෙඔනරෙයින් විසින් ක්‍රීඩා කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා. පන්දු 39ක් තුළ වේගවත් ලකුණු 63ක් රැස් කළ ඔහුගේ සටන්කාමී ඉනිම නිමා වූයේ උදාන රැකගත් අනගි උඩපන්දුවක් හමුවේයි.

නර්සිංගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පිළේ ජය මුද්‍රා තැබුනු අතර ජෙරම් ටේලර්ගේ අවසන් උත්සාහය තරග ජයක් සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ. තරගය නිමාවේ දී කොදෙව් ඉනිම දැක්වුනේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලෙසයි. පන්දු යැවීමේ දී නුවන් කුලසේකර සහ සනත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ඉනිමේ වටිනාම කඩුලු ද්විත්වයට හිමිකම් කියූ නුවන් කුලසේකරටයි.

මේ අනුව ශ්‍රී ලංකා පිළ අවසන් තරගයට සූදානම් වීමට හෝ විවේක ගැනීමට ඉස්පාසුවක් නොමැතිවම හෙට දිනයේ දී (01) දහසක් බලාපොරොත්තු ඇතිව කුසලානය වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි. එහි දී තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටිමින් වැඩි දස්කම් පෙන්නුම් කළේ ශ්‍රී ලංකා පිළ වුව ද ගියවර ශූරයින් වන ප්‍රතිවාදී ඉන්දීය පිළ ද තම කිරුළ ලෙහෙසියෙන් බිම තැබීමට සූදානම් නැති බව ද කල් තබාම කිව හැකියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<