ඕජාගේ ශතකය නිසා මෙවරත් Road Safety ශූරතාවය ඉන්දියාවට

5794
Sri Lanka Legends vs India Legends
Credit : ESPN Cricinfo

කලක් ක්‍රිකට් ලොව දිග් විජය කළ ක්‍රිකට් තරු නැවතත් උරෙනුර ගැටුණු Road Safety World Series තරගාවලිය ඊයේ (01) රායිපූර් හිදී නිමාවට පත්වුනා.

ඒ ගියවර ශූරයින් බවට පත්වූ ඉන්දීය Legends කණ්ඩායමට මෙවරත් කුසලානය හිමිකර දෙමින්. ඔවුන් හමුවේ අනුශූරතාවයට හිමිකම් කියූවේ මෙවර තරගාවලියේ ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා Legends කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් දිනා ගත් අතර ඔහු පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තා. කෙසේ නමුත් රාත්‍රි 8ට ආරම්භ වන තරගයක් නිසා පසුව පන්දු යවන කණ්ඩායමට පින්නෙන් බාධා සිදු විය හැකි බැවින් සචින්ගේ මෙම තීරණය දෙපැත්ත කැපෙන ආයුධයක් බඳු වුනා.

මේ නිසා ඉන්දියාවට සාමාන්‍ය ඉනිමකට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්වුනා. නමුත් ඒ බලාපොරොත්තු තවත් දුරස් කරමින් පන්දු දෝලනයේ විශිෂ්ටයෙකු වන නුවන් කුලසේකර ටෙන්ඩුල්කාර්ට යැවූ පළමු පන්දුවෙන්ම පිට ඉන්න බිම හෙලන්නේ තම “ක්‍රිකට් දෙවියා”ගේ සුපිරි ඉනිමක් දැක බලා ගැනීමට රැස්වූ ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ මුහුණු සුදුමැලි කරමින්.

තවමත් තරුණ වියේ පසුවන සුරේෂ් රයිනාටත් හොඳ ඉනිමක් කරා යාමට කුලසේකර ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ නමුත් මුලින් කඩුලු දෙකක් දැවී යාමෙන් පමණක් සතුටු විය යුතු නොවන බව 2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී මෙන්ම නැවත වරක් පසක් කරමින් ඉන්දීය කණ්ඩායම තෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 90ක සබඳතාවයක් ගොඩ නැගුවා. එහි දී පිතිකරණය ලැයිස්තුවේ උසස් වීමක් ලද විනේ කුමාර් පන්දු 21ක දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 36ක්.

ඉතා සෙමින් ඉනිම ඇරඹූ නමන් ඕජා තම ආරම්භක පිතිකරණ සගයාට කළ නොහැකි වූත්, ඔහුගෙන් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූත් ඉනිම ක්‍රීඩා කළේ නොදැවී ශතකයක් වාර්තා කරමින්.

පන්දු 71කට පමණක් මුහුණ දුන් ඕජා හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ශතකය සම්පූර්ණ කිරීමෙන් පසු ටෙන්ඩුල්කාර් දෙසට තෙවරක් හිස නමා ආචාර කළේ තම ශතකය ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තය වෙත පුද කරන බව හඟවමින්.

කෙසේ නමුත් කඩුලු රැකීමේ යෙදුණු උපුල් තරංග නමන් ඕජා දවා ගැනීමට තමන්ට ලැබුණු අවස්ථා ග්‍රහණය කර ගත්තා නම් මේ කිසිවක් සිදු නොවන්නටත් ඉඩ තිබුණා. ශ්‍රී ලංකාවේ සමස්ත පන්දු රැකීම ද අද විශිෂ්ට මට්ටමක නොතිබූ අතර මේ සියල්ලේ ආශීර්වාදයෙන් ඉන්දියාවට කඩුලු 6කට ලකුණු 195ක් ලබා ගන්නට හැකි වුනා.

එහි දී නුවන් කුලසේකර ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඔහුගේ සිව්වැනි පන්දුවාරය නායක ඩිල්ශාන් භාවිතා නොකිරීම කණ්ඩායමට සිදු වූ පාඩුවක් ලෙස සැලකිය හැකියි. ඉසුරු උදාන ලකුණු 34ට කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඉන්දීය ප්‍රේක්ෂකයින් සචින් ලකුණු අතරට පිවිසෙන තුරු බලා සිටි අයුරින්ම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීනුත් තම සදාදරණීය ක්‍රිකට් තරුව වන ජයසූරිය දෙස දෑස් දල්වා බලා සිටි නමුත් ඒ බලාපොරොත්තුවත් බොඳව ගියා.

ඒ විනේ කුමාර්ගේ පන්දුවක් හමුවේ ලකුණු 5ක් ලබා සිටි ජයසූරිය තම කඩුල්ල බි ඳගත් නිසයි. අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගිය ඩිල්ශාන් මුණවීරටත් අද සිදු වූයේ සනත් පසුපසම ක්‍රීඩාගාරයට යෑමටයි.

ඉනිමේ වටිනාම කඩුල්ල වූ තිලකරත්න ඩිල්ශාන්ට පහසු ලකුණු ලබා නොදෙමින් දැඩි පීඩනයක් එල්ල කිරීමට ඉන්දීය කණ්ඩායම කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ සුළු අතපසුවීමක් ස්ටම්ප් කිරීමක් බවට පරිවර්තනය වීමයි. තවමත් 37 වැනි වියේ සිටින උපුල් තරංගට මෙම තීරණාත්මක තරගයේ දීත් සාර්ථක වන්නට නොහැකි වෙද්දී අසේල ගුණරත්නටත් ලකුණු 19 දී පිටියෙන් ඉවත් වන්නට සිදු වුනා.

වේගයෙන් ලකුණු 20ක් රැස්කළ ජීවන් මෙන්ඩිස් දුවද්දී දැවී යද්දී තරගය අවසන් පන්දුවාරය දක්වාම උණුසුම්ව තබන්නට උත්සාහ කළ ඉශාන් ජයරත්න සහ මහේල උඩවත්ත සත්වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රවේගකාරී ලකුණු 63ක් එක් කළා.

කෙසේ වෙතත් මුල් පන්දුවාර වල ගෙන ගිය මන්දගාමී පිතිකරණය හිලව් කරන්නට තරම් ලකුණු වේගයක් රඳවා ගන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස මහේල උඩවත්ත ලකුණු 26දී දැවී ගියා.

කිසිදින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් නොලැබූ ඉශාන් ජයරත්න අවසන් පූර්ව තරගයේ දී මෙන්ම අදත් විශිෂ්ට ප්‍රහාරයක නිරත වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සේවය අහිමි වූවා දැයි යන පැනය ඉතිරි කරමින්. හතරේ පහර සහ හයේ පහර 4 බැගින් ඇතුළත් වූ ඉශාන්ගේ ලකුණු 51ක ඉනිමට වැය වුනේ පන්දු 22ක් පමණයි.

නමුත් විනේ කුමාර්ගේ පන්දු යැවීම හමුවේ ඉශාන් ජයරත්න සහ ධම්මික ප්‍රසාද් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමත් සමඟ ශ්‍රී ලංකා Legends ගමන ලකුණු 162 දී නතර වුනා. ඒ තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දීයි. විනේ කුමාර් කඩුලු 3ක් බිඳ හෙලද්දී, අභිමන්යු මිතුන් කඩුලු 2කට හිමිකම් කීවා. තරගයේ වීරයා සම්මානයට හිමිකම් කියූවේ ශතකලාභී නමන් ඕජායි.

තරගාවලි දක්ෂතා සැලකූ විට ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක සිටිය ද ඊයේ ඉන්දීය කණ්ඩායම ඉතා අඩු දුර්වල පන්දු ප්‍රමාණයක් යොමු කරමින් පිටියේ පන්දු රැකීම ද ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදු කිරීම ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වුනා. ඒ අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද එකම පරාජය අවසන් මහා තරග පරාජය වීම මෙරට ප්‍රේක්ෂකයින්ගේ කනස්සල්ලට හේතු වනු ඇති.

කෙසේ නමුත් පැරණි ක්‍රිකට් රසිකයෙකුට නම් ජයසූරිය, ඩිල්ශාන්, ලාරා, ටෙන්ඩුල්කාර්, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඩ්ස් වැනි තමන් කුඩා කල සිට ආදරය කළ ක්‍රීඩකයින් නැවතත් ක්‍රිකට් පිටියේ රඟ දක්වනු දැක ගන්නට ලැබීම ම ජයග්‍රහණයක් වන්නට ඇතිවාට සැකයක් නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<