SLC ප්‍රීමියර් ලීග් තරඟාවලිය සතියකින් කල් යයි

282
SLC Premier League

මේ දිනවල පවතින වර්ෂාධික දේශගුණික තත්වය සලකා බලමින් 2016/17 SLC ප්‍රීමියර් ලීග් තරඟාවලිය සතියකින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

පසුගිය ලිපි: දේශීය ක්‍රිකට්‌ නගා සිටුවන්නට ක්‍රිකට් ආයතනයෙන් තවත් පියවරක්

පළමු පෙල තරඟාවලිය කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් එළඹෙන 25 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එහිදී තරඟ 10කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟාවලි හා ලකුණු දත්ත සම්බන්ධ සහය කළමණාකරු චින්තක ජයනාත් මහතා විසින් එය නිල වශයෙන් ThePapare.com වෙත දැනුම් දුන්නේය.

පළමු සතිය ඇතුළත පැවැත්වීමට නියමිතව තිබූ තරඟ රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන අතර දෙවන සතියේ තරඟ පෙර තීරණය කළ අයුරින්ම පැවැත්වෙනු ඇත.

“වැස්ස නිසා අපට අවසන් දින කිහිපයේදී ක්‍රීඩාංගනය තුළදී පුහුණුවීම් කිරීමට නොහැකි වුණා වගේම පිටියේ කාර්ය මණ්ඩලයටත්, තරඟයට තණතිල්ල සූදානම් කිරීමට නොහැකි වුණා. මං හිතන්නේ තරඟාවලිය සතියකින් කල් යාම හොඳයි.” යැයි නම ප්‍රසිද්ධ කිරීමට අකමැති කණ්ඩායම් නායකයෙකු ThePapare.com සමඟින් ප්‍රකාශ කළේය.

පළමු කාණ්ඩයෙන් කණ්ඩායම් 14ක්, කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරඟ කිරීමට නියමිතයි. උක්ත කාණ්ඩ දෙකේම මුල්තැන ගන්නා කණ්ඩායම් 8ක්, සුපිරි අටදෙනාගේ වටයට පිවිසේ. සුපිරි අටදෙනාගේ වටයේ තරඟ පැවැත්වෙන්නේ රෝස පැහැති පන්දුව යොදාගෙනය. ඉතිරි කණ්ඩායම් 6, බඳුන ශූරතාවය සඳහා තරඟ කරනු ලබන අතර (තෙදින තරඟ) තරඟාවලි සටහනේ අවසන් තැනට පත්වන කණ්ඩායම එළඹෙන තරඟ වාරයේදී දෙවන කාණ්ඩය තෙක් පසුබසිනු ඇත.

“නැගී එන කණ්ඩායම් වටය” ලෙස පෙර හැඳින්වුණු දෙවන කාණ්ඩයේදී කණ්ඩායම් 10ක් ලීග් ක්‍රමයට තරඟ වදින අතර (තෙදින තරඟ) ඉන් තරඟාවලි සටහනේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම එළඹෙන වසරේදී පළමු කාණ්ඩය දක්වා ඔසවා තබනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට