කොරෝනා තවත් තරගාවලියක් කල්දමයි

209

එළඹෙන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2021 වසර දක්වා කල්දමා තිබේ. එංගලන්ත ඉන්දීය සීමිත ඕවර තරග සංචාරය මෙලෙස 2021 මුල් භාගය දක්වා කල් දමා ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (අගෝස්තු 7) තහවුරු කළේය.

>>“IPL යන්න බැරි වුනා කියලා පසුතැවිල්ලක් නැහැ”<<

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අනාගත සංචාර සැලැස්මට (Future Tour Program – FTP) අනුව අනුමැතිය ලබා දී තිබූ එංගලන්ත – ඉන්දීය මූලික තරගාවලියට විස්සයි විස්ස තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්ව තිබුණි. එම තරගාවලිය නිමා කිරීමෙන් අනතුරුව ටෙස්ට් තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔවුන් නැවත ජනවාරි මාසයේ දී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණි.  

ඉන්දියාවේ මේ වන විට පවතින COVID-19 තත්වය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට ඉන්දියාව තීරණය කළේය. මෙම කරුණු සලකා බැලූ ඉන්දීය හා එංගලන්ත ක්‍රිකට් ආයතන තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ. 

“අපි හැමෝම මේ කොරෝනා වසංගතය එක්ක සටන් කරමින් ඉන්නේ. ඒ නිසා මේ අභියෝගාත්මක කාලය තුල ක්‍රිකට් ආයතන විදිහට අපි එකතු වෙලා කටයුතු කරන්න ඕන. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල්දාන්න ගත්ත තීරණයත් එක්ක අපිට ක්‍රිකට් ආයතන විදිහට මේ අභියෝගවලට මුහුණ දීම ගැන යම් අවබෝධයක් තියනවා” එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් පැවසීය

“ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගාවලිය කල්‍දැමීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ක්‍රිකට් දින දර්ශනයට කැපී පෙනෙන වෙනස්කමක් කරන්න පුළුවන්. මේ තරගාවලියේ ඉදිරි දින වෙන්කරගන්න අපි ඉක්මනින්ම ඉන්දීය ක්‍රිකට් ආයතනය එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.” 

>>මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!<<

සීමිත පන්දුවාර තරගාවලිය කල්දැමීමත් සමඟින් 2021 වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ වන එංගලන්ත ඉන්දීය ටෙස්ට් තරග සංචාරය පූර්ණ තරගාවලියක් ලෙස පැවැත්වීම කෙරෙහි එංගලන්ත හා ඉන්දීය ක්‍රිකට් ආයතනවල අවධානය මේ වන විට යොමුව තිබේ. එලෙස පූර්ණ තරගාවලියකට යොමුවන්නේ නම් එංගලන්තය ජනවාරි මාසයේ සිට මාර්තු මස අග දක්වා ඉන්දියාව තුල රැඳී සිටිනු ඇත. 

ඉන් අනතුරුව එළඹෙන වසරේ ගිම්හානයේ දී ඉන්දියාව එංගලන්තයේ සංචාරයක් සඳහා ද එක්වීමට නියමිතය. 

“මේ වසංගත තත්ත්වය එක්ක අවලංගු කළ ක්‍රිකට් නැවත ආරම්භ කරන්න අපි ගොඩක් උත්සාහ කරනවා. ක්‍රිකට් නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කරන්න ක්‍රිකට් ආයතන හැම එකක්ම ඔවුන්ගේ උපරිම උත්සාහය යොදවලා තියනවා. මේ එංගලන්ත තරගාවලියේ සංශෝධිත කාලසටහන ඉක්මනින්ම සකස් කරන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය හා එංගලන්ත ක්‍රිකට් ආයතනය සමීපව කටයුතු කරමින් සිටිනවා”  ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂා පැවසීය. 

>>“එක් රෝගියෙක් නිසා IPL තරගාවලියම විනාශ වෙන්න පුළුවන්”<<

“ඉන්දියා – එංගලන්ත තරගාවලිය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම බලාපොරොත්තු සහිත තරගාවලියක්. මේ කණ්ඩායම් දෙකම පිටියේ දී ප්‍රබල දස්කම් දක්වන කණ්ඩායම් දෙකක්. මම හිතන්නේ ක්‍රීඩාලෝලීන් ගොඩක් බලාගෙන ඉන්නවා මේ තරගාවලිය පැවැත්වේවි කියලා.”

“ඉන්දීය ක්‍රිකට් ආයතනය වගේම එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම තත්වය කළමනාකරණය කර ඇති ආකාරය ගැන මම සතුටු වෙනවා. තරග සංචාරය සංශෝධනය කරලා ටෙස්ට් වගේම එක්දින තරග එක්ක පූර්ණ තරගාවලියක ආකෘතියක් විදිහට ප්‍රතිනිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අලුත් තරගාවලිය දැන් පුළුල් තරගාවලියක් වේවි.” 

කොරෝනා වසංගතය හමුවේ මාස 3කට අධික කාලයක් ක්‍රිකට් පිටියට විරාමයක් ලැබී තිබුණු අතර එම දීර්ඝ විරාමය අවසන් වූයේ පසුගිය මාසයේ දී පැවති එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියත් සමඟිනි. විරාමයෙන් පසුව ආරම්භ වූ පළමු එක්දින තරගාවලිය ලෙස එංගලන්ත – අයර්ලන්ත තරගාවලිය පසුගිය දා නිමා විය. 

ඉන්දියාව මේ වන විට කොරෝනා වසංගතය හමුවේ ප්‍රබල බලපෑමකට ලක්ව තිබෙන අතර ඔවුන්ගේ දෛනික රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<