Russel Arnold ආවර්ජනය කළ Dhoniගේ විශිෂ්ට ඉනිම

364

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයා වන MS Dhoniගේ උපන්දිනය පසුගියදාට එනම් 2022 ජූලි 7 වැනි දිනට යෙදී තිබුණා. සමස්ත ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අති උත්කර්ශවත් ලෙස Dhoniගේ උපන්දිනය සමරා තිබුණා.

ඉන්දියාවේ වඩාත්ම ආදරය කරන නායකයා වන Dhoni පසුගිය දා 41 වැනි වියට පා තැබූවා. ඔහු තවදුරටත් ක්‍රියාකාරී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවන නමුත් සමාජ මාධ්‍ය තුළ ඔහු කෙරෙහි ආදරය සහ ප්‍රශංසා ගලා යාම අතිමහත් වනවා.

තරග 350ක දී 50.57ක සාමාන්‍යයක් සහිතව එක්දින ලකුණු 10,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟින් සිය ක්‍රිකට් දිවිය නිමා කළ Dhoni විශිෂ්ට පිතිකරුවෙක් මෙන්ම පුරාවෘත්තයක් ද වනවා.

තරග නිමා කරන්නෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධ Dhoni සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ 2005 දීයි. MS Dhoni ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දෙවැනි වසර වන විට ඔහු ඔහුගේ විශාල පහරවල් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටියා.

ඒ අතරින් බොහෝ දෙනාගේ මතකයේ රැඳෙන ඉනිමක් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ජායිපූර් හිදී නොදැවී ලකුණු 183ක් වාර්තා කිරීමයි. එය තවමත් එක්දින පිටියේ කඩුලු රකින පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවකට හිමිකම් කියනවා.

තරගයේ ජයග්‍රහණය සඳහා වූ ලකුණු 298ක ඉලක්කය පන්දුවාර 47ක් තුල සම්පූර්ණ කිරීමට Dhoni ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කළා.

Dhoniගේ උපන්දිනය දා ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ​Russel Arnold ද හිටපු ඉන්දීය නායකයා විසින් ක්‍රීඩා කළ මෙම අතිවිශිෂ්ට ඉනිම ගැන සිහිපත් කර තිබුණා.

තරගයේ පළමු ඕවරයේ දී ම Sachin දැවී ගියා. Virender Sehwag ද වේලාසනින්ම දැවී ගියා. නමුත් පසුව ඉන්දියාව පුදුමයට පත් කරන දෙයක් කළා. ඔවුන් Dhoni අංක 3 ක්‍රීඩකයා ලෙස පිටියට එව්වා. මම හිතන්නේ ඉන්දියාවට ඕනේ වුනා විශේෂ දෙයක් කරන්න. ඒ නිසා ඔවුන් Rahul Dravid, Yuvraj Singh සහ තවත් පිතිකරුවන් ඉද්දී Dhoni අංක 3 ක්‍රීඩකයා විදිහට යොදාගත්තා. එය දෝනි අංක 3 ලෙස පිටියට ආව පළමු අවස්ථාව නොවේ.

ඔහු ඊට පෙර කිහිප වතාවක්ම අංක 3 විදිහට පන්දුවට පහර දුන්නා. ඒ වගේම ඔහු පාකිස්තානයට එරෙහිව ශතකයක් රැස් කරලා තිබුණා. නමුත් ඔහු නිහඬවම පිටියට ඇවිල්ලා තරගයේ පාලනය අතට ගත්තා. ඉන්දියාව පන්දුවාර 46ක දී ඉලක්කය කරා ළඟා වුනා. අප තුළ තිබූ උද්යෝගය සහ උනන්දුව ඉක්මනින් අතුරුදහන් වීමට පටන් ගත්තා”, Arnold Cricket.com වෙත එක්වෙමින් පවසා තිබුණා.

Dhoni හට මෙම තරගයේ දී අංක 3 පිතිකරණයට උසස් වීමක් ලැබුවේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි වතාවටයි. පළමු වතාවට එය සිදු වූයේ එම වසරේම මුල් මාසයක දී පැවති පාකිස්තාන තරගයේ දීයි. එම තරගයේ දී Dhoni ලකුණු 148ක් වාර්තා කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා තරගයේ දී ගත් තීරණය නායක Rahul Dravid වුවත් ප්‍රතිඵලය සමාන වුනා. තවදුරටත් අදහස් දක්වමින් Arnold පවසා සිටියේ Dhoni මුල්පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු දැකීමට කැමති බවයි.

“46 වැනි පන්දුවාරය අවසානයේ දී ඉන්දියාව ලකුණු 303ක් දක්වා ගෙන ඒමට Dhoni සමත් වුනා. ඔහුගේ ඉනිමට ඔහුට පන්දු 145ක් වැය වෙලා තිබුණා. හතරේ පහර 15ක්, හයේ පහර 10ක් එල්ල කළා. මට පන්දුව ලබා දුන්නේ නම් එය කලින්ම අවසන් කරන්න තිබුණා.

මේ Dhoniගේ ඉනිමේ හොඳ දෙයකට තිබුණේ ඔහු කඩුලු අතර දිව්වේ නැහැ. හැමවෙලාවකම පන්දුව හිසට උඩින් ගමන් කළා. ඔහු පන්දුවට පහර දෙන සෑම අවස්ථාවකම එය තව තවත් ඈතට එල්ල කළා. Dhoni මුල්පෙළට ගෙන ඒම ඉන්දියාවේ විස්මිත තීරණයක් සහ ප්‍රතිවාදීන් පුදුමයට පත් කළ විශිෂ්ට පියවරක්. ඔහු අංක 3 ස්ථානයේ පන්දුවට පහර දුන්නේ නැත්තේ ඇයි? ඔහුට තවත් බොහෝ හානියක් කරන්න හැකියාව තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<