සනත් ජයසූරිය Kandy Falcons සමඟ එක්වෙයි

ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය 2022

6143

මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ Kandy Falcons කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය නම් කර තිබෙනවා.

තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) පසුගිය අඟහරුවාදා (05) පැවති අතර එය අවසන් වීමෙන් පසුව කණ්ඩායමේ නිලධාරින් ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම Kandy Falcons.

Kandy Falcons කණ්ඩායමේ පිතිකරණ උපදේශක බවට පත් වීමෙන් පසුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සනත් ජයසූරිය ප්‍රකාශ කර සිටියේ,

“ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලියේ Kandy Falcons කණ්ඩායමේ උපදේශක බවට පත් වීමට ලැබීම භාග්‍යයක්. වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සේවය කිරීමෙන් සහ එය වර්ධනය කිරීමට උපකාර කිරීමෙන් මම විශාල තෘප්තියක් ලැබුවා.” 

“ඒ ගමන දිගටම කරගෙන යමින්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ  Kandy Falcons කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව හිමි වීම විශාල භාග්‍යයක්. එය නව උද්යෝගිමත් ආරම්භයක් වෙයි. තරගාවලියේ දී හමුවෙමු”, යනුවෙන්.

ලොව බිහි වූ දක්ෂතම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයන් රැසක් ගෙන දුන් අතර ඔහු ලොව ප්‍රකට ලීගයක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians වෙනුවෙන් මෙතෙක් වේගවත්ම ශතකය රැස් කළ ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 31 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<