පැතුම්ට අහිමි වූ වෙල්ලාලගේට වටිනාකමක් හිමි වූ LPL වෙන්දේසිය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

9834

තෙවැනි වරටත් පවත්වනු ලබන Lanka Premier League (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් කාණ්ඩ ගත කිරීම පසුගිය දා සිදු වූ අතර එහි දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන් ම සිටින පැතුම් නිස්සංක ඇතුළත්ව නොසිටිය ද යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට වැඩි වටිනාකමක් හිමිව තිබුණා.

පැතුම් විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුට අමතර ව මෙරට කිසිදු ක්‍රීඩකයෙක් ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු 15 දෙනා අතර නොමැති තත්ත්වයක් මත මේ අහිමි වීම් සිදු කර තිබීම විමතියට හේතුවක්.

පැතුම් පෙර වසරේ පැවති LPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී Colombo Stars නියෝජනය කළ අතර එහි දී තරග 5කට ක්‍රීඩා කරමින් ලකුණු 56ක් ලබා ගත්තා.

එම තරගාවලියෙන් පසුව පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11ක ක්‍රීඩා කළ පැතුම් අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 326ක් ලබා ගැනීමට සමත් වූ අතර එහි තරගයක සාමාන්‍ය 29.63ක්.

තවමත් 19 වැනි වියේ පසුවන වෙල්ලාලගේ මෙවර Jaffna Kings සමඟින් LPL පිටියට එක් වෙන්නේ ළාබාලතම ක්‍රීඩකයා ලෙසින්.

වෙල්ලාලගේ මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9ක්. ඒ මෙරට දී නිමා වූ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියේ දී. එහි දී වෙල්ලාලගේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් ද පෙරමුණ ගන්නවා.

පළමු පෙළ එක්දින තරග 17කට ක්‍රීඩා කර ඇති වෙල්ලාලගේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 27ක්.

පැතුම් සහ වෙල්ලාලගේ මෙන් ම මෙවර තරගාවලි වෙන්දේසියේ දී හිමි – අහිමි වීම් මැද නිමා වූ ක්‍රීඩක අලෙවියෙන් කාණ්ඩගත වූ කණ්ඩායම් පිළිබඳවයි මේ සටහන.

Colombo Stars

මෙම කණ්ඩායම වෙනුවෙන් මෙවර මිල දී ගත් වටිනාම විදෙස් ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකාවේ Dwaine Pretorius. 33 හැවිරිදි Pretorius එරට වෙනුවෙන් මේ දක්වා විස්සයි විස්ස කඩුලු 28ක් පමණක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

නිමා වූ IPL ක්‍රිකට් තරගාවලියේ දී Chennai Super Kings නියෝජනය කළ ඔහු තරග 6ක දී ලබා ගත්තේ ලබා ගත්තේ කඩුලු 6ක් පමණයි.

කෙසේ වෙතත් වෙන්දේසියට පෙර ම ඔවුන් Pretorius මිල දී ගෙන තිබූ අතර ඔහු සමඟ පාකිස්තානයේ  Asif Ali ද ඉහළ අගයකින් යුතුව විදෙස් ක්‍රීඩකයන් ලෙසින් මිල දී ගෙන තිබුණා.

පෙර වසරේ දී Kandy Warriors නියෝජනය කළ චරිත් අසලංක සහ Dambulla Giants නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල ද මෙරට ක්‍රීඩකයන් ලෙසින් එලෙස ම මිල දී ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණා.

පෙර වසරේ දී Colombo Stars නියෝජනය කළ මෙරට ක්‍රීඩකයන් වූ ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ තවදුරටත් තම කණ්ඩායමේ ම රඳවා තබා ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණ අතර විදෙස් ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටි Naveen Ul-haq සහ Karim Janat ද එලෙසින් ම තබා ගැනීමට කටයුතු කර තිබුණා.

එමෙන් ම පෙර වසරේ දී Kandy Warriors නියෝජනය කළ ඉෂාන් ජයරත්න ද කණ්ඩායමට නම් කර ඇති අතර නවකයන් ලෙසින් මුදිත ලක්ෂාන්, ලක්ෂිත මනසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන සහ චමෝද් බැට්ටගේ කණ්ඩායමට එක් කරගෙන තිබුණා.

Colombo Stars සංචිතය

Dwaine Pretorius (දකුණු අප්‍රිකාව), ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, Asif Ali (පාකිස්තානය), නිරෝෂන් දික්වැල්ල, Dominic Drakes (බටහිර ඉන්දීය කොදෙව්), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, Naveen Ul-haq (ඇෆ්ගනිස්තානය), Fazalhaq Farooqi (ඇෆ්ගනිස්තානය), සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, ඉෂාන් ජයරත්න, Karim Janat (ඇෆ්ගනිස්තානය), මුදිත ලක්ෂාන්, ලක්ෂිත මනසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන, චමෝද් බැට්ටගේ

Jaffna Kings

කණ්ඩායමේ වටිනාම විදෙස් ක්‍රීඩකයා ලෙසින් වෙන්දේසියට පෙර ම බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ 30 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු Evin Lewis ඔවුන් මිල දී ගන්නවා.

මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 50කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව ශතක 2ක් සමඟින් ලකුණු 1423ක්. නිමා වූ IPL තරගාවලියේ දී Luknow Super Giants  නියෝජනය කළ ඔහු ලබා සිටියේ තරග 6ක දී ලකුණු 73ක් පමණයි.

ඊට අමතර ව ඒ ආකාරයෙන් ම දකුණු අප්‍රිකාවේ Hardus Vilojen ද මිල දී ගන්නා ඔවුන් මෙරට ක්‍රීඩකයන්ගෙන් ධනංජය ද සිල්වා සහ යොවුන් ක්‍රීඩක වෙල්ලාලගේ මිල දී ගන්නවා.

පෙර වසරේ දී Jaffna Kings නියෝජනය කළ දේශීය ක්‍රීඩකයන් වූ තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, අශාන් රන්දික සහ සහ විජයකාන්ත් වියස්කාන්ත් ද විදෙස් ක්‍රීඩකයන් ලෙසින් එක්ව සිටි Shoaib Malik සහ Rahmanullah Gurbaz ද තව දුරටත් තම කණ්ඩායමේ ම රඳවා ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

එමෙන් ම පෙර වසරේ දී Kandy Warriors නියෝජනය කළ බිනුර ප්‍රනාන්දු, Galle Gladiators නියෝජනය කළ සුමින්ද ලක්ෂාන් සහ එම කණ්ඩායමේ ම සදීර සමරවික්‍රම ද මෙවර Jaffna Kings කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

නවකයන් ලෙසින් ඩිල්ශාන් මධුශංක, නිපුන් ධනංජය, තීෂාන් විතුසාන් සහ ටී. දිනෝෂාන් Jaffna Kings හා එක්ව තිබෙනවා.

Jaffna Kings සංචිතය

Evin Lewis (බටහිර ඉන්දීය කොදෙව්), තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, Hardus Vilojen (දකුණු අප්‍රිකාව), මහීෂ් තීක්ෂණ, Shoaib Malik (පාකිස්තානය), දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු, Shahnawaz Dahani (පාකිස්තානය) Rahmanullah Gurbaz (ඇෆ්ගනිස්තානය), ප්‍රවීන් ජයවික්‍රම, සුමින්ද ලක්ෂාන්, සදීර සමරවික්‍රම, Tristan Stubbs (දකුණු අප්‍රිකාව), ඩිල්ශාන් මධුශංක, නිපුන් ධනංජය, අශාන් රන්දික, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුසාන්, ටී. දිනෝෂාන්

Kandy Falcons

පෙර වසරේ දී Kandy Warriors නමින් වූ කණ්ඩායම මෙවර LPL  පිටියට පිවිසෙන්නේ Kandy Falcons නමින්. බටහිර ඉන්දීය කොදෙව් 33 වියැති තුන් ඉරියව් ක්‍රීඩක Carlos Brathwaite වටිනාම විදෙස් ක්‍රීඩකයා ලෙසින් වෙන්දේසියට පෙර ම මිල දී ගන්නවා. ඔහු කොදෙව්වන් වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ තරග 41ක දී ලකුණු 310ක් ලබා ඇති අතර කඩුලු 31ක් දවාගෙන තිබෙනවා.

පෙර වසරේ දී Jaffna Kings නියෝජනය කළ වනිඳු හසරංග තම කණ්ඩායම වෙනුවෙන් ඒ ආකාරයෙන් ම මිල දී ගැනීමට Kandy Falcons හිමිකරුවෝ කටයුතු කරන අතර පෙර වසරේ දී Dambulla Giants නියෝජනය කළ චාමික කරුණාරත්නට ද ඉහළ ලංසුවක් දී තම කණ්ඩායම හා එක්කර ගන්නවා.

ඊට අමතර ව එම ලැයිස්තුවට බටහිර ඉන්දීය කොදෙව් ජාතික Fabian Allen සහ ඕස්ට්‍රේලියාවේ Chris Green ද විදෙස් ක්‍රීඩකයන් ලෙසින් ඇතුළත් වෙනවා.

එමෙන් ම පෙර වසරේ දී තම කණ්ඩායම හා එක්ව සිටි කමිඳු මෙන්ඩිස් සහ මිනෝද් භානුක ද තව දුරටත් තම කණ්ඩායමේ ම රඳවා ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

පෙර වසරේ දී Galle Gladiators නියෝජනය කළ ඉසුරු උදාන, Jaffna Kings නියෝජනය කළ අශේන් බණ්ඩාර, Colombo Stars නියෝජනය කළ අශාන් ප්‍රියංජන් සහ Dambulla Giants නියෝජනය කළ ජනිත් ලියනගේ මෙවර LPL පිටියට පිවිසෙන්නේ Kandy Falcons හා එක් වෙමින්.

Kandy Falcons වෙනුවෙන් මතීෂ පතිරණ, අවිශ්ක පෙරේරා, අශේන් ඩැනියෙල්, මාලින්ද පුෂ්පකුමාර, ලසිත් අබේරත්න සහ කවින් බණ්ඩාර නවකයන් ලෙසින් එක් වෙනවා.

Kandy Falcons සංචිතය

Carlos Brathwaite (බටහිර ඉන්දීය කොදෙව්), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, Fabian Allen (බටහිර ඉන්දීය කොදෙව්), ඉසුරු උදාන, Andre Fletcher (බටහිර ඉන්දීය කොදෙව්), මතීෂ පතිරණ, අශේන් බණ්ඩාර, Dewald Brevis (දකුණු අප්‍රිකාව) Chris Green (ඕස්ට්‍රේලියාව), කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන්, මිනෝද් භානුක, Usman Shinwari (පාකිස්තානය), අවිශ්ක පෙරේරා, අශේන් ඩැනියෙල්, මාලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, ලසිත් අබේරත්න, කවින් බණ්ඩාර

Galle Gladiators

මෙවර මෙම කණ්ඩායමේ වටිනාම විදෙස් ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන්ගේ ලැයිස්තු ගත 33 හැවිරිදි Imad Wasim. මේ දක්වා පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස තරග 58ක ලකුණු 339ක් සහ කඩුලු 55ක් ලබා ඇති ඔහු පාකිස්තාන කුසලාන තරගාවලියේ දී තරග 8ක දී ලකුණු 221ක් සහ කඩුලු 13ක් ලබා ගනිමින් මෙම තරගාවලියට එක්වීමට සුදුසුකම් ලබා ගන්නවා.

ඔහු සමඟ පාකිස්තානයේ Faheem Asraf සහ මෙරට ක්‍රීඩකයන්ගෙන් පෙර වසරේ දී Colombo Stars නියෝජනය කළ දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් ඔවුන් වෙන්දේසියට පෙර ම කණ්ඩායමට වෙන් කර ගන්නවා.

ඊට අමතර ව පෙර වසරේ දී Galle Gladiators නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නුවන් තුෂාර සහ පුලින තරංග තව දුරටත් තම කණ්ඩායමේ ම රඳවා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

පෙර තරගාවලියේ දී Dambulla Giants නියෝජනය කළ නුවනිඳු ප්‍රනාන්දු, Kandy Warriors නියෝජනය කළ නිමේෂ් විමුක්ති, Colombo Stars නියෝජනය කළ තරිඳු කෞෂාල් සහ Jaffna Kings නියෝජනය කළ සම්මු අශාන් මෙවර Galle Gladiators හා එක්ව සිටිනවා.

නවකයන් ලෙසින් මොවින් සුබසිංහ, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ සහ ලක්ෂාන් ගමගේ Galle Gladiators කණ්ඩායමට එක්කර ගෙන තිබෙනවා.

Galle Gladiators

Imad Wasim (පාකිස්තානය), ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර, Faheem Asraf (පාකිස්තානය), කුසල් මෙන්ඩිස්, Janneman Malan (දකුණු අප්‍රිකාව), ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර, Sherfane Rutherford (බටහිර ඉන්දීය කොදෙව්) Azam Khan (පාකිස්තානය), පුලින තරංග, Sarfaraz Ahamed (පාකිස්තානය) නුවනිඳු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, මොවින් සුබසිංහ, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ, ලක්ෂාන් ගමගේ, තරිඳු කෞෂාල්, සම්මු අශාන්

Dambulla Giants

ඕස්ට්‍රේලියාවේ 31 වියැති වමත් ආරම්භක පිතිකරු D’Arcy Short මෙවර වටිනාම විදෙස් ක්‍රීඩකයා ලෙසින් Dambulla Giants හා එක් වෙනවා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 23ක දී ලකුණු 642ක් ලබා ඇති ඔහු පළමු පෙළ විස්සයි විස්ස තරග 136ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 4265ක්.

පෙර තරගාවලියේ නායකයා ද වූ දසුන් ශානක ද ඉහළ ලංසුවකින් කණ්ඩායම හා එක් වෙන අතර ඔහු සමඟ පෙර වසරේ දී මෙම කණ්ඩායම නියෝජනය කළ රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, තරිඳු රත්නායක හා සචිත ජයතිලක සහ සචා සෙනෙවිරත්න මෙවර ද මෙම කණ්ඩායම ම නියෝජනය කරමින් LPL පිටියට එක් වෙනවා.

ඊට අමතර ව පෙර වසරේ දී Galle Gladiators නියෝජනය කළ ප්‍රමෝද් මධුශාන් සහ Colombo Stars නියෝජනය කළ රවිඳු ප්‍රනාන්දු ද Dambulla Giants හා එක් ව සිටිනවා.

නවකයන් ලෙසින් ලසිත් කෲස්පුල්ලේ, කළණ පෙරේරා, දිලුම් සුධීර සහ දුශාන් හේමන්ත Dambulla Giants කණ්ඩායම් පාලකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් කණ්ඩායම හා එක් වෙනවා.

Dambulla Giants

D’Arcy Short (ඕස්ට්‍රේලියාව), දසුන් ශානක, Ben Cutting (ඕස්ට්‍රේලියාව), භානුක රාජපක්ෂ, චතුරංග ද සිල්වා, Sandeep Lamichhane (නේපාලය), රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, Tim Siefert (නවසීලන්තය) Haider Ali (පාකිස්තානය), තරිඳු රත්නායක, ප්‍රමෝද් මධුශාන්, ලසිත් කෘaස්පුල්ලේ, Sheldon Cottrel (බටහිර ඉන්දීය කොදෙව්), කළණ පෙරේරා, දිලුම් සුධීර, සචිත ජයතිලක, දුශාන් හේමන්ත, සචා සෙනෙවිරත්න, රවිඳු ප්‍රනාන්දු

මේ අතර පෙර වසරේ LPL තරගාවලියේ දී Jaffna Kings නියෝජනය කරමින් අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණ අවිශ්ක ප්‍රනාන්දු පසුගිය පෙබරවාරියේ සිදු වූ ආබාධිත තත්ත්වය හේතුවෙන් මෙතෙක් LPL වෙන්දේසියට එකතු කර නැහැ. එමෙන් ම ආබාධිත තත්ත්වයන් හේතුවෙන් Colombo Stars කණ්ඩායමට ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ද මෙවර කණ්ඩායමක අවස්ථාව හිමිකර ගෙන නැහැ.

ඒ අතර මෙරට ක්‍රිකට් පිටියෙන් සමුගත් Jaffna Kings කණ්ඩායමට ක්‍රීඩා කළ සුරංග ලක්මාල් සහ Kandy Warriors නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා විදෙස් ගත වීම හේතුවෙන් ද මෙවර වෙන්දේසියට එක් කර ගෙන නැහැ.

ඊට අමතර ව පෙර වසරේ දී Jaffna Kings කණ්ඩායමේ උපුල් තරංග සහ අශාන් රන්දික ද Colombo Stars කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා සහ අකිල ධනංජය ද Galle Gladiators කණ්ඩායමේ ලහිරු මධුශංක, සහන් ආරච්චිගේ සහ මොහොමඩ් ශමාස් ද Kandy Warriors කණ්ඩායමේ ටී. එන්. සම්පත්, අසේල ගුණරත්න සහ ලහිරු කුමාර ද Dambulla Giants කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි, ලහිරු සමරකෝන්, ඩිල්ශාන් මුණවීර සහ ලහිරු උදාර ද මෙවර LPL වෙන්දේසියේ දී අලෙවි වී නැහැ.

මේ ආදි තොරතුරුවලින් ගහන LPL පිටියේ උණුසුම ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<