යාපනය සහ මහනුවර අවසන් සටනට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට 2022

879

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට යාපනය සහ මහනුවර ක්‍රීඩකයෝ සමත් වුනා.

මෙම තරගය මේ මස 7 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් සතිය වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි තැන සිටි යාපනය ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ සිටි කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

එමෙන් ම ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි සහ තෙවැනි තැන්වල සිටි මහනුවර සහ ගාල්ල ක්‍රීඩකයන් අතර තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළ මහනුවර ක්‍රීඩකයෝ අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ සහ යාපනය

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (04) නිමා වූ මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට යාපනය ක්‍රීඩකයෝ සමත් වුනා.

තරගය ආරම්භ වෙන්නේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින්. ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම අද අවසන් කළේ සියලුම දෙනා දැවී ලකුණු 339ක් ලබා ගනිමින්. අනතුරුව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි.

එම ඉනිම අවසානයත් සමගින් ජයග්‍රහණය සඳහා ලකුණු 92ක් හඹා යන ඉනිමකට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 95ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන සහ නිශාන් මධුශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් එක් කළා. නිශාන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

තරගය අවසන් වෙද්දී පරණවිතාන පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා සිටියා. ඔහු සමඟ අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටියේ නායක ධනංජය ද සිල්වා. ඔහු ලකුණු 3යි.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරිත්වය නිසල තාරක සතු වුනා.

  • කොළඹ; පළමු ඉනිම (පළමු දිනයට තරගය අවසන් කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 224) සියලුම දෙනා දැවී 272 (110.5) ක්‍රිශාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් නොදැවී 114, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 5/48
  • යාපනය; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 70ක දී කඩුලු 8ක් දැවී 204) සියලුම දෙනා දැවී 339 (93.3) නවෝද් පරණවිතාන 42, නිශාන් මධුශ්ක 24, සමින්ද ප්‍රනාන්දු 123, සදීර සමරවික්‍රම 32, නිපුන් මාලිංග 80, කවික ඩිල්ශාන් 6/124, නලින් ප්‍රියදර්ශන 2/68
  • කොළඹ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 158 (59.3) කුසල් මෙන්ඩිස් 39, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 54, ධනංජය ද සිල්වා 2/55, දිලුම් සුධීර 3/35, ජෙෆ්රි වැන්ඩර්සේ 2/22
  • යාපනය; දෙවැනි දිනය (තෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 4ක දී කිසිවෙක් නොදැවී 25) කඩුල්ලක් දැවී 95 (23) නවෝද් පරණවිතාන නොදැවී 59, නිශාන් මධුශංක 32,

මහනුවර සහ ගාල්ල

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් අවසන් වූයේ පළමු ඉනිමේ වාසිය මහනුවර ක්‍රීඩකයන් සතු කරමින්.

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම ඉනිමට ලකුණු 458ක් එක් කර ගත්තා. අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 354ක් පමණයි.

තරගය අවසන් වන විට තවත් ලකුණු 104ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා.

ගාලු කණ්ඩායම වෙනුවෙන් පබසර වඩුගේ (78), හෂාන් දුමිඳු (74) සහ ධනංජය ලක්ෂාන් (60) අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු ලකුණු 69කට කඩුලු 4ක් දවා ගත් අතර අශේන් ඩැනියෙල් කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව ලසිත් ඇඹුල්දෙණිය සහ සහන් ආරච්චිගේ අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කමිල් මිෂාර. ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා. ඊට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් සහ ලහිරු උදාර පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 67කට කඩුලු 2ක් සහ ඩිල්ශාන් මධුශංක සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුල්ල බැගින් දවා ගත්තා.

  • මහනුවර; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 59ක දී කඩුලු 2ක් දැවී 192 සහ දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 120.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 447) සියලුම දෙනා දැවී 458 (125.2) කසුන් විදුර 45, ඕෂද ප්‍රනාන්දු 127, කමිඳු මෙන්ඩිස් 108, ලහිරු උදාර 87, නිරෝෂන් දික්වැල්ල 38, ඩිල්ශාන් මධුශංක 2/83, අකිල ධනංජය 2/85, ධනංජය ලක්ෂාන් 2/57, සුමින්ද ලක්ෂාන් 3/65
  • ගාල්ල; පළමු ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 48.1ක දී කඩුල්ලක් දැවී 147) සියලුම දෙනා දැවී 354 (92.1) සංගීත් කුරේ 44, පබසර වඩුගේ 78, හෂාන් දුමිඳු 74, ධනංජය ලක්ෂාන් 60, සමින්ද ලක්ෂාන් 22, කවිශ්ක අංජුල 31, අසිත ප්‍රනාන්දු 4/69, අශේන් ඩැනියෙල් 3/86
  • මහනුවර; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 155 (34.1) කමිල් මිෂාර 63, කමිඳු මෙන්ඩිස් 42, ලහිරු උදාර නොදැවී 32, අකිල ධනංජය 2/67

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<