නුවනිඳුගේ මංගල ශතකය සහ රන්සිකගේ පන්දු යැවීමෙන් ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

1435

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (29) රාත්‍රියේ දී අවසන් වුනා.

Gloucestershire ප්‍රාන්ත කණ්ඩායම සමඟ Bristol හිදී පැවැත්වුණු එම තරගය ලකුණු 67කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

දෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින් ලසිත් කෘස්පුල්ලේ, අශේන් ඩැනියල් සහ වේගපන්දු යවන ක්‍රීඩක අම්ෂි ද සිල්වා වෙනුවට අවිශ්ක තරිඳු, දිලුම් සුධීර සහ නිපුන් මාලිංග අද කණ්ඩායමට කැඳවා තිබුණා. මේ තරගයේ දී Gloucestershire ක්‍රීඩකයින් 8 දෙනෙක් සහ ශ්‍රී ලංකාවේ සුධීර විස්සයි විස්ස වරම් දිනා ගත්තා.

අද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, නිශාන් මදුෂ්ක, අශේන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන් (නායක), මනෙල්කර් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, නිපුන් රන්සික, නිපුන් මාලිංග, දිලුම් සුධීර.
  • Gloucestershire ප්‍රාන්ත කණ්ඩායම – William Naish, Oliver Price, George Scott (නායක), Tom Lace, Ben Wells, Tom Price, Matt Taylor, Josh Shaw, Luke Charlesworth, Jared Warner, Ajeet Dale.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ලක්ෂාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් කරමින් නිශාන් සමඟ නුවනිඳු ශ්‍රී ලංකා  ඉනිම ආරම්භ කළ අතර පන්දු 32ක් තුල වේගවත් ලකුණු 47ක සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙදෙනා සමත් වුනා.

පන්දු 16ක් තුල 4 පහර 2ක් එල්ල කරමින් ලකුණු 20ක් ලබා ගත් නිශාන්ගේ දැවී යාමට පසුව පිටියට පැමිණි ධනංජය සමඟ එක්වුණු නුවනිඳු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවයක් ගොඩනැංවූවා. එය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙක් මේ විස්සයි විස්ස තරගාවලිය තුල ගොඩනැංවූ හොඳම සබඳතාවය වුනා.

සිය විස්සයි විස්ස දිවිය තුල මේ දක්වා වාර්තා කළ හොඳම ඉනිම සහ මංගල ශතකය ලබා ගත් ආරම්භක පිතිකරු නුවනිඳු පන්දු 67ක් තුල නොදවූ ලකුණු 126*ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ අවසානය දක්වාම කඩුල්ලේ රැඳී සිටියා.

ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. නිපුන් ධනංජය ලකුණු 31යි. අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 205ක් ලබා ගත් අතර Shaw සහ Charlesworth කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය Gloucestershire කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 138ක් පමණයි.

කඩුලු රකින පිතිකරු Ben Wells සහ Oliver Price පිළිවෙළින් ලකුණු 42ක් සහ ලකුණු 33ක් ලබා ගන්නා විට, සුපිරි පන්දුකරණයක නිරත වුනු දකුණතින් වේගපන්දු යවන නිපුන් රන්සික පන්දු 15ක් තුල ලකුණු 11කට කඩුලු 4ක් දවාගෙන සිය විස්සයි විස්ස දිවියේ තරගයක හොඳම පන්දු යැවීමේ දස්කම දැක්වූවා. එය ඔහුගේ පළමු කඩුලු 4 දස්කම ද වුනා. නායක ලක්ෂාන් කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 205/4 (20): නුවනිඳු ප්‍රනාන්දු 126*, නිපුන් ධනංජය 31, Josh Shaw 1/23, Luke Charlesworth 1/32.

Gloucestershire ප්‍රාන්ත කණ්ඩායම – 138 (16.3): Ben Wells 42, Oliver Price 33, Tom Price 25, නිපුන් රන්සික 4/11, ධනංජය ලක්ෂාන් 2/29.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ලකුණු 67ක ජයක්

ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය මෙසේ නිමාවුණු අතර සිව්දින තරග 3ම ප්‍රතිඵලයක් රහිතව අවසන් වුවත්, විස්සයි විස්ස තරගාවලියේ තරග 3න් එක් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<