දුර්වල බංග්ලාදේශ පිතිකරණය ගැන පුහුණුකරු කලකිරීමෙන්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය 2022

7236

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් වුනා.

බංග්ලාදේශය තම මව්බිමේ දී ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයට පත්වෙද්දී, ප්‍රධාන පුහුණුකරු Russell Domingo කණ්ඩායමෙන් සිදු වූ වැරදි පිළිබඳව පිළිතුරු රහිත වූ බවක් පෙනෙන්නට තිබුණා.

සාපේක්ෂව පිතිකරණයට හිතකර තණතීරුවක් මත වුවත් බංග්ලාදේශය පළමු ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුළ දැවී ගිය අතර දෙවැනි ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 23ක් තුළ දැවී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දහයකින් තරගය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුනා.

Russell Domingo බංග්ලාදේශ පිතිකරණ අංශය විඳ දරා ගත් අඛණ්ඩ පසුබෑම සමඟ කලකිරීමට පත්ව සිටිනවා. නමුත් එම පසුබෑම කෙරෙහි බලපෑ හේතූන් කුමක් දැයි නිවැරදිව හඳුනා ගැනීමට තමන්ට හැකියාවක් නොතිබූ බවයි.

අපි මේ පසුබෑමට පිළිතුර දැන ගෙන හිටියා නම් බොහෝ විට ඒක සිදු නොවේවි”, ඔහු සිකුරාදා තරගය අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියා.

“අපිට වෙනත් දෙයක් කරන්න වෙනවා. පිතිකරණ පිළිවෙළ වෙනස් කරන්න වෙන්න වුනත් පුළුවන්. අපිට දේවල් එකක් දෙකක් උත්සාහ කරලා බලන්න පුළුවන්. කිසිම කණ්ඩායමක් ඉනිම් දෙකේ දී ම 24-5ක් සහ 23-4ක් විදිහට අරන් ටෙස්ට් තරඟ දිනන්නේ නැහැ.

අපි යමක් වෙනස් කළ යුතුයි. පසුගිය මාස 6 – 8 තුළ බොහෝ වාර ගණනක් මේ දේ සිදු වුනා. මම කණ්ඩායමට කෑගැසීමෙන් ඵලක් නැහැ. හැමෝටම කෑගහලා, ඔවුන් දුර්වලයි කියලා වැඩක් නැහැ. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග කිහිපයක් දිනන්න පුළුවන් වෙන්න එයාලගේ විශ්වාසය ගොඩනගා ගන්න වෙනවා.”

නවසීලන්ත තරගාවලියට පෙර අපි කළා වගේ අපේ පිතිකරුවන් හොඳින් සූදානම් විය යුතුයි. පන්දු මඟ හරින්න කැමැත්ත ගොඩනගන්න ඕනේ. ඔවුන් පැරණි පන්නයේ ටෙස්ට් තරග පිතිකරණයට ආපසු යා යුතුයි. මේ වෙද්දී අපේ ක්‍රීඩා රටාව අපිට සාර්ථක වෙන්නේ නැහැ. අපි මේ තත්වය හොඳින් සාකච්ඡා කරලා බලන්න ඕනේ. පිතිකරණ අනුපිළිවෙළ ගැන බලන්න ඕනේ. අපි එකම දේ කළොත් අපි එකම ප්‍රතිඵලයක් ලැබෙන්නේ.”

ටෙස්ට් ක්‍රිකට් දෙසට තම කණ්ඩායම සංස්කෘතිකව මාරු විය යුතු බව Russell Domingo පවසනවා.

සංස්කෘතික පෙරළියක් සිදු වෙන්න ඕනේ. ඒත් ඒ මාරුව කරන්න පුළුවන් වෙන්නේ හොඳ ප්‍රතිඵලයක් ලැබුණු විට පමණයි”, ඔහු පැවසීය. “ටෙස්ට් ක්‍රීඩා කිරීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වගේම විශාල ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරන්න උනන්දුව තියෙන්න ඕනේ. මෙම ටෙස්ට් තරගාවලියට පෙර මම ඔවුන්ගෙන් ඇහුවා ඔවුන් කවදා හෝ සිම්බාබ්වේ හැර ඉහළ පෙළේ රටකට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා තියනවා ද කියලා. ඒකට පිළිතුර වූනේ නැහැ කියලා. ඔවුන් කිසි දිනෙක ඉහළ රටක් පරාජය කර නැහැ.

මම හිතුවා මේ කණ්ඩායම් දෙක එක සමානව ගැළපෙනවා කියලා. අපි කාසියේ වාසිය දිනුවා. අපි පටන් ගත්තේ නරක විදියට. ඒත් හොඳ තත්වෙකට ආවා. අපිට ආයෙත් පාරක් තරගය අතහැරුණා. අපි ලොකු තරගාවලියක් දිනන්න පටන්ගන්නකම්, ටෙස්ට් තරග විතරක් නෙමේ අනෙක් තරගත් ඇතුලත්ව, අපේ ටෙස්ට් සංස්කෘතිය ඊළඟ මට්ටමට යන්න අමාරු වෙනවා.”

කෙසේ වෙතත්, Domingo පෙන්වා දුන්නේ දඟපන්දු යැවීමට හිතකර තණතීරු සකස් කිරීම ඒ සඳහා පිළිතුර නොවන බවයි.

එය එක් ටෙස්ට් තරගයක දී ඔබට උදව් වෙන්න පුළුවන්. නමුත් එය ටෙස්ට් කණ්ඩායමේ දිගුකාලීන සංවර්ධනයට උදව්වක් වෙන්නේ නැහැ. එය අපට ඉදිරි ගමනට හානියක් විය හැකියි”, ඔහු පවසනවා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<